දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදාගැනීමේ සිදුවීමක් වෙතොත් 1929 යන ශ්රී ලංකා ළමා උපකාරක දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වහාම දැනුම්දෙන ලෙසට එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව සභාපති, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නො. 330, තලවතුගොඩ පාර, මාදිවෙල යන ලිපිනයට තැපෑලෙන්, 0112 778 915 යන ෆැක්ස් අංකයට හෝ [email protected] යන විද්යුත් තැපෑල මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වහාම දැනුම් දිය හැකි බවද එම අධිකාරිය සඳහන් කර සිටියි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයක් ප්රකාශයට පත්කර ඇති මෙම අවස්ථාවේදී ළමයින් විවිධ ක්රම ඔස්සේ දේශපාලන කටයුතු සඳහා සහභාගි කරගන්නා බවට තොරතුරු ලැබී ඇති බවයි.
ළමයින් දේශපාලන කටයුතුවලට සහභාගි කර ගැනීම මගින් ඔවුන්ව කායික හෝ මානසික හිංසනයකට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක් වන බවත්, එමෙන්ම එවැන්නක් ළමයාගේ අයිතිවාසිකම්ද උදුරාගනු ඇති බවත් අවධාරණය කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඒ අනුව දේශපාලන කටයුතු සඳහා ළමයින් යොදා නොගන්නා ලෙසට සියලු දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා තැනැත්තන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
