බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ වරාය පොලිසියේ රඳවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ලියනගේ දයාසේන නමැති එම සැකකරු 65 හැවිරිදි වියේ පසු වන්නෙකි. එම සැකකරු කඩවත ඉහළ බියන්විල පදිංචිකරුවෙකි.
ඉකුත් එකොළොස් වැනි දින බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන භූමියේ සුරුවමක් අසල තිබී කාල බෝම්බයක් ආකාරයෙන් තනන ලද මෙම අත්බෝම්බය හමුවී තිබිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් එම දේවස්ථානයේ සිටි සේවකයෙකු ඇතුළු සිව් දෙනකු මෙන්ම දාහතර හැවිරිදි පිරිමි ළමයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සි ඩි වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වමින් සිටියදී කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකට ලද තොරතුරක් අනුව බෝම්බ තැබූ බව කියන පුද්ගලයා ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබිණි.
එම පුද්ගලයා ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහුට බෝම්බයේ තැබීම සඳහා තවත් පුද්ගලයකු උපදෙස් ලබා දුන් බවත් ඒ සඳහා රුපියල් 50,000 මුදලක් ලබා දුන් බවත් පැවසේ.
එම පුද්ගලයා ලබාදුන් ප්‍රකාශ අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කොළඹට ආසන්න ප්‍රදේශයකට පිටත්ව ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.
එම සැකකරු බෝම්බය තැබීමෙන් අනතුරුව කිසිදු කලබලයකින් තොරව ගමන් මල්ලක් අතින් දරාගෙන දේවස්ථාන භූමියේන් පිටවන අයුරු දේවස්තානයේ සවි කර තිබෙන සිසිටිවි කැමරාවේද සටහන් විය.
පොලිස්පති සී. ඩි. වික්‍රමරත්න මහතාගේ සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ දකුණු අපරාධ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ පවත්වයි.