දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වූ ධීවරයින් දින 13කට පසුව එයි
දෙවුන්දර ධීවර වරායෙන් පසුගිය අගෝස්තු මස 31වන දින ධීවරයින් 6 දෙනෙකු සමග කේෂන් පුතා නමැති බහුදින ධීවර යාත්‍රාවක් මගින් ධීවර කටයුතු සඳහා පිටත්වගොස් මීට දින 15කට පමණ ඉහත දී මුහුදේ අනතුරකට ලක්ව දිවි බේරාගනු ලැබූ ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදාවට අයත් සිදුරළ නෞකාවෙන් අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරායට රැගෙන එන ලදී.
ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය මෙම කේෂාන් පුතා නමැති බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් නාවික සැතපුම් තුන්සිය පනහක් පමණ දුරදි මේ ආකාරයෙන් අනතුරට ලක්වී තිබේ. එහිදී එක් ධීවර කාර්මිකයකු මුහුදට වැටී අතුරුදන් වී තිබෙන අතර තවත් අයෙකු දින 11කට පමණ පසුව මියගොස් තිබේ. පසුව මෙම යාත්‍රාවේ සිටි ධීවර කාර්මිකයින් හය දෙනා ඉන්දුනීසියා මුහුදු සීමාව තෙක් ගසාගෙන ගොස් තිබෙන අතර ඉන්දුනීසියානු ධිවර බෝට්ටුවක් මගින් ජීවත්ව සිටි ධීවරයින් හතරදෙනා බේරාගෙන ඊජිප්තුව බලා ගමන් ගත් වෙළද නාවික යාත්‍රාවකට භාරදී තිබේ.
ජාත්‍යන්තර පණිවුඩ හුවමාරු මගින් ශ්‍රී ලංකා රජයට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් පසු ජාත්‍යන්තර මුහුදේ ගමන් ගත් නෞකාවලට දැනුම් දීමත් සමඟ අනතුරුව ධීවරයන් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදු රළ නෞකාවේ කපිතාන් මහේෂ් කුලසිරි මහතා ප්රමුඛ නාවික හමුදා විශේෂිත කණ්ඩායමක් පසුගිය 30 වනදා හම්බන්තොට වරායෙන් පිටත් කර හැර තිබෙනවා. ඒ අනුව හම්බන්තොට වරායේ සිට මුහුදු සැතපුම් 150ක් පමණ දුරදි ඊජිප්තු වෙළඳ නෞකාව විසින් රැගෙන එනු ලැබූ මෙම ධීවරයින් හතර දෙනා ශ්‍රී ලංකා නාවික හමුදා සිදු රළ නෞකාවට භාරදී තිබෙනවා.
ඒ ආකාරයෙන් දිනක පමණ මෙහෙයුමකින් පසුව අද(31) අලුයම 5.30ට පමණ අනතුරට පත් ධීවරයින් රැගෙන සිදු රළ නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණියේය. පසුව නෞකාවේ කාර්යභාර වෛද්‍ය නිලධාරීවරිය විසින් නැවතත් මෙම ධීවරයින් නෞකාවේදී වෛද්‍ය පරීක්ෂාවට භාජනය කිරීමෙන් අනතුරුව වෛද්‍ය සහායක කණ්ඩායම් විසින් එම ධීවර කාර්මිකයින් හතර දෙනා හම්බන්තොට ජාත්‍යන්තර වරාය භූමියේදී ගිලන් රථයකින් හම්බන්තොට මහ රෝහලට රැගෙන යන ලදී.
ධීවරයන් දෙදෙනෙකු හට ඇවිදීමට පවා නොහැකි දුර්වල තත්ත්වක සිටි අතර ඔවුන් වෛද්‍ය උපකරණ ආධාරයෙන් ගිලන් රථයට නංවා ගන්නා ලදී. මෙම මෙහෙයුම පිළිබඳව එම සිදුරළ නාවික නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මහේෂ් කුලසිරි මහතා කියා සිටියේ වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් ලබදෙනුලබන කාලගුණික හා වෙනත් උපදෙස් පිලි පැදීම ජිවිත ආරක්ෂා කර ගැනීමට ඉතා වැදගත් බවයි.
එමෙන්ම මෙම ධීවර කාර්මිකයින් හතර දෙනා රැගෙන එන අවස්ථාවට මෙම ධීවර යාත්‍රාවේ හිමිකරු ද පැමිණ සිටියහ. මේ අතර මියගිය අයගෙන් එක් තරුණයෙකු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන් වේ. දීවි බේරා ගත් ධීවර කාර්මිකයින් වන්නේ ටී.එච්.පෝෂිත, පී.එම්.ශානක(35), ඩබ්.එච්.ඕෂාන් මදුසංක(30), එච්.ඒ. ධම්මික ලක්මාල්(34) යන අයයි. අතුරුදහන්ව සහ මියගිය ධීවර කාර්මිකයින් දෙදෙනා වන්නේ. හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි ඊ.ඩී.ආර් නවෝදන සහ දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි එච්.එච්.ඩි.ඒ. සුරංග යන අයයි. ඊජිප්තු නෞකාව මියගිය ධීවර කාර්මිකයාගේ මෘත ශරීරය භාර ගැනීමට කැමැත්ත පළ කර නොමැති නිසා එම මෘත ශරීරය අතහැර දමා පැමිණ තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

