ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ නිල කාලය 21 වෙනිදා අවසන්ය විය.
එම ධූරයේ වැඩ බැලීම සඳහා දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන ආරච්චිගේ තිළිණ මධුශංක අබේරත්න මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා විසින් (22) වෙනිදා පත්කර ඇත.
තම සේවා කාලය තුළ කතරගම ප්‍රදේශය ඇතුළු මුළු රටට දේවාලයේ පඬුරු මුදල් වලින් සහ පරිත්‍යාග වලින් මහත් සේවාවක් කළ හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා මහරගම අපේක්ෂා රෝහලේ සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය ඉඳිකිරීම,කතරගම මූලික රෝහල වැඩිදියුණු කිරීම,කතරගම බස් නැවතුම්පොළ ඇතුළු නගරය නවීකරණය කිරීම,පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීම සහ පුදබිම අලංකාර කිරීම,ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වලට සහනාධාර පිරිනැමීම,ප්‍රදේශයේ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදී රැකියා අවස්ථා සඳහා යොමුකිරීම,ඉංග්‍රීසි සහ කොරියානු භාෂා පාඨමාල පැවැත්වීම ආදී සමාජ සත්කාර රැසක් තම සේවා කාලය තුළ ඉටු කරන ලදි.
මීට අමතරව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට අඩුපාඩුවක්ව පැවති හෘද රෝග ඒකකයක් ඉඳිකිරීමද ආරම්භ කරන ලදි.නැවත වරක් කතරගම දේවාලයේ බස්නායක නිලමේ නිලවරණයට ඉදිරිපත් නොවන බවට මීට පෙර ඔහු සඳහන් කර තිබිණි.
හිටපු සහ වැඩබලන බස්නායක නිලමේවරුන් දෙදෙනාම මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුන් වේ.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි මාස තුන ඇතුළත පනතේ විධි විධාන ප්‍රකාරව නව බස්නායක නිලමේවරයේ වරයෙක් පත් කරගන්නා බවයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
