බලපත්ර නොමැති බව සඳහන් කරමින් මීට වසර 06කට පෙර අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි 'දෙව්මිණි' සහ 'වස්තු' යන අලි පැටවුන් දෙදෙනා ඔවුන්ගේ හිමිකරුවන්ට මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (24දා) නියම කළේය.
'දෙව්මිණි' සහ 'වස්තු' යන අලි පැටවුන් දෙදෙනා වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තැබීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයට එරෙහිව අලි හිමිකරුවන් විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන ඇයදුම් පත් විභාග කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එලෙස නියම කළේය.
'දෙව්මිණි' සහ 'වස්තු' යන අලි පැටවුන් දෙදෙනාගේ හිමිකරුවන් වන අනූෂා විජයන්ති පෙරේරා සහ ප්රදීප් සංජය මීවලපලාන නමැත්තන් මහේස්ත්රාත් අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් මෙම ප්රතිශෝධන ඇයදුම් පත් ඉදිරිපත් කර තිබිණි.
බලපත්ර නොමැති බවට චෝදනා කරමින් රහස් පොලීසිය 'දෙව්මිණි' සහ 'වස්තු' යන අලි පැටවුන් දෙදෙනා 2016 මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තැබීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළ බව සඳහන් කරන පෙත්සම්කරුවෝ, අලි පැටවුන් මුදාහරින්නැයි කළ ඉල්ලීම් මහේස්ත්රාතවරයා ප්රතික්ෂේප කළ බවද සඳහන් කර ඇත.
අලි පැටවුන් මුදාහැරීම ප්රතික්ෂේප කරමින් මහේස්ත්රාත්වරයා දුන් නියෝගය ප්රතිශෝධනය කර තමන්ට අලි පැටවුන් මුදාහැරීමට නියම කරන්නැයි ඉල්ලමින් පෙත්සම්කරුවෝ මෙම ප්රතිශෝධන ඇයදුම් පත් ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම් විභාග කළ විනිසුරුවරයා අලි දෙදෙනාගේ හිමිකරුවන් සම්බන්ධයෙන් අපරාධමය චෝදනාවක් ඉදිරිපත් වී නොමැති බවත්, ඉදිරියේදී එවැනි අපරාධමය චෝදනාවක් ඉදිරිපත් කිරීමේ අවදානමක්ද නොමැති බවත් සිය තීන්දුවේ සඳහන් කළේය.
එම අලි දෙදෙනා මුදාහැරීම වළක්වමින් ඉහළ අධිකරණයෙන් මේ වනවිට නියෝගයක් නිකුත් කර නොමැති බවත්, ඒ අනුව එම අලි දෙදෙනා මුදාහැරීම සම්බන්ධයෙන් අධිකරණයට බාධාවක් නොමැති බවත් සඳහන් කළ විනිසුරුවරයා, වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටින අලි පැටවුන් දෙදෙනා මුදාහැරීමට නියම කළේය.