දෙමාපියන්ට අධික ආර්ථික බරක් පටවමින් පවත්වනු ලබන පෙර පාසල් වාර්ෂික ප්‍රසංග ඉදිරියේදී , උතුරු මැද පළාත තුල නතර කිරීම සඳහා උතුරු මැද පළාත් මුල් ළමා විය අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ නිලන්ත ඒකනායක පියවර ගෙන ඇති බවත් ඊට අදාළ චක්‍ර ලේඛය පළාතේ සියලු පෙර පාසල් සඳහා යවා ඇතැයිද වාර්තා වේ.
මේ තුලින් වාර්ෂික ප්‍රසංග තහනමක් සිදු නොකරන අතර නියාමනයක් පමණක් සිදු කරන බවද පෙර පාසල් අකුරු උගන්වන තැනක් නොව ගුණධර්ම හෙවත් චර්යාව දරුවාට හුරු කරන තැනක් බවද අප කල විමසීමකදී ඒ මහතා පැවසීය.
යහපත් චර්යාවෙන් යුතු දරුවකු ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යොමු කිරීම සඳහා මේ ප්‍රසංග අත්‍යවශ්‍ය දෙයක් නොවන බව පෙන්වා දෙන කළමනාකාර අධ්යක්ෂවරයා රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ දෙමාපියන්ට මේ මහත් පීඩාවක් ගෙන දෙන්නක් බවට පත්ව ඇතැයි ද සඳහන් කළේය.
දිවා කාලයේ පවා විශාල මුදල් ගෙවා ආලෝකකරණය සිදු කිරීම,දැවැන්ත ශබ්ද විකාශ,වීඩියෝ, ඡායාරූප,අධික මිල ගණන් සහිත ඇඳුම් ආදිය සඳහා දෙමාපියන් බර පැන දැරීමට සිදු කිරීම මේ කාලයේ සිදු කරන මහත් අසාධාරණයක් බැවින් මේ නැවත්වීම සඳහා කටයුතු කිරීමට උපදෙස් ලබාදුන් බවද හෙතෙම සඳහන් කරයි.
දෙමාපියන්ට බරක් කරදරයක් වුවද තම පෙර පාසලට ඊළඟ වසරේ නැවත නවක සිසුන් බඳවා ගැනීම සඳහා ඉහළ දමා ගැනීමේ ප්‍රධාන උපක්‍රමයක් මේ බවට පත්ව ඇතැයිද අධ්යක්ෂවරයා මෙහිදී පැවසීය.
පෙර පාසල් ප්‍රසංගයක් පැවැත්වීමට අත්‍යවශ්‍ය නම් දරුවන්ට හැකියාවන් මතු කර ගැනීමට සාමාන්‍ය පරිදි ප්‍රසංගයක් සිදු කරන ලෙසද එයද දරුවන්ට ගැලපෙන අයුරින් සිදු කරන ලෙසට අදාළ චක්රරේඛය මගින් දැනුම් දී තිබේ.
උතුරු මැද පළාතේ පෙර පාසල් 1450 ක් තිබෙන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ නම සිය අසූවක් සහ පොළොන්නරු දිස්ත්‍රික්කයේ 470 ක් ආදී වශයෙන් ක්‍රියාත්මක වේ.යම් පෙර පාසලක් මේ නීති රීති කඩ කර කටයුතු කරන්නේ නම් ඒ පෙර පාසල සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම පියවර ගන්නා බව කළමනාකාර අධ්යක්ෂ නිලන්ත ඒකනායක මහතා අප කළ විමසීමේදී වැඩි දුරටත් අවධාරණය කලේය.