තලවකැලේ, හොලිරූඩ් තේ කර්මාන්තශාලාව අසලදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තරුණයන් තිදෙනෙකු දරුණු කැපුම් තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
දෙපිරිස අතර ඊයේ (13) සවස ඇති වු මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ පදිංචිව සිටි සිවඥානම් සජීවන් (22) නැමති තරුණයෙකි.
පහරදීමෙන් හා තියුණු ආයුධවලින් කපා දැමීමෙන් මෙම තරුණයා ඝාතණය කොට ඇති බවට සැක කෙරෙන බවත්, කැපුම් තුවාල ලැබු තරුණයන් තිදෙනා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.
ලිඳුල රෝහලට ඇතුලත් කරනු ලැබු තුවාලකරුවන් ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරුකොට යවීමට පියවර ගෙන ඇති බවත්, තුවාල ලැබු එක් අයෙකු මියගිය තරුණයාගේ සහෝදරයෙකු බව පොලීසිය කියයි.
වටගොඩ ප්‍රදේශයේ හා තලවකැලේ ග්‍රේස්වෙස්ටන් ප්‍රදේශයේ දෙපිරිසක් අතර කළක පටන් පැවැති ආරාවුලක් මුල්කර ගනිමින් මෙම ගැටුම ඇති වී තිබෙන බවත්, එම දෙපිරිස ඥාතීන් වන බවද පොලීසිය සිදු කරන ලද විමර්ශණවලදී අනාවරණය වී තිබේ.
මීට මාස හතරකට පමණ පෙර තලවකැලේ නගරයේ පැවැති දමිල උත්සවයක් අතරතුරදී පළමුව මෙම දෙපිරිස අතර ගැටුමක් ඇති කරගෙන ත්‍රී රෝද රථයකට පහරදී ඊට අලාභහානි සිදු කොට තිබෙන බවත්, එම ආරාවුල මුල්කර ගනිමින් මෙම ඥාති පවුල් දෙක අතර මෙම ගැටුම නිර්මාණය වී ඇති බව පොලීසිය පවසයි.
මෙම මනුෂ්‍ය ඝාතණයට හා ගැටුමට සම්බන්ධ දෙපාර්ශවයේ පුද්ගලයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් පුද්ගලයන් තිදෙනෙකු මේ වනවිට නුවරඑළිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (14) දින නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, මේ සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.
