විසිරුනු වාට්ටු සම්ප්රදාය වෙනුවට එකම ගොඩනැගිල්ලක් තුල වාට්ටු ඇතුලු සියළු ඒකක ස්ථාපිත වන නවීන සැලසුමක් .
පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කර ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල වෙත පැමිණෙන ජනතාවට රෝහල් පරිශ්‍රයට පැමිනීමේ විශේෂ පිවිසුම් ක්‍රමවේදයක් .
වසර 127 කට අධික ඉතිහාසක් පවතින වත්මන් දෙනියාය මූලික රෝහල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක් නාය යෑමේ අවධානමකට ලක්ව ඇති නිසා එම රෝහල වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ දකුණු පළාත් සභාවේ විශේෂ අවධානය යොමුවීමත් සමග ඊට අදාළව සිදුකෙරෙන විශේෂ සාකච්ජාවක් පසුගියදා දකුණු පලාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙනියාය කොටපොල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
නව රෝහල ඉදිකිරීමේ දී පැනනගින මූල්‍ය, භෞතික,සමාජයීය සහ අනෙකුත් පොදු ගැටලු පිළිබදව මෙම දී දීර්ඝ වශයෙන් සාකච්ජාවට භාජනය වූ අතර ගැටලු වලට මධ්‍ය සහ දීර්ඝ කාලීන මෙන්ම ස්ථීර විසදුම් ලබා දීමට දකුණු පලාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහි දී කටයුතු කරන ලදී.
ඇදන් 300 ක ධාරිතාවයක් සහිත අතිනවීන පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ නව රෝහල දෙනියාය, හෑන්ඩ්ෆෝර්ඩ් (Handford) ප්‍රදේශයේ ඉදිකිරීමට අවශ්‍යවන සියලු සැලසුම් මේවන විට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, දකුණු පළාත් සභාව සමග එක්ව සිදුකර ඇති බව මෙම සාකච්ජාවේ දී අනාවරණය විය.
මෙම අංග සම්පූර්ණ ව්‍යාපෘතිය සදහා වැය කිරීමට අපේක්ෂිත මුළු පිරිවැය රුපියල් බිලියන 6 කි. විසිරුනු වාට්ටු සම්ප්රදාය වෙනුවට එකම ගොඩනැගිල්ලක් තුල වාට්ටු ඇතුලු සියළු ඒකක හා අංශ ස්ථාපිත වන පරිදි වෙනස්ම ආකාරයේ නවීන සැලසුමකට මෙම නව රෝහල ඉදිකිරීමට යෝජිත ය.
අදියර දෙකකින් ඉදිකිරීම් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම නව රෝහලේ පළමු අදියර යටතේ ඇදන් 205 ධාරිතාවයකට සරිලන පරිදි පිරිමි, කාන්තා, ළමා සහ මාතෘ වාට්ටු, ශල්‍යාගාර, දැඩි සත්තාර ඒ්කක, අධි සත්කාර ඒ්කක, හදිසි අනතුරු ප්‍රතිකාර ඒ්කක සහ ලේ බැංකු ඇතුළුව අංග සම්පූර්ණ සියළු පහසුකම් වලින් සමන්විතව ඉදිකිරීම් සිදු කිරීමට නියමිතය.
පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරමින් ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමට රෝහලට පැමිනෙණ ජනතාව වෙනුවෙන් රෝහල් පරිශ්‍රයට පැමිනීමේ විශේෂ රථවාහන පිවිසුම් ක්‍රමවේදයක් සහිතව මෙම නව රෝහලේ සැලසුම් නිර්මාණය කර ඇති බවත්, එමෙන්ම රෝහලේ සේවය කරනු ලබන වෛද, හෙද ඇතුළු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය නේවාසික පහසුකම් සදහා නිලනිවාස ඉදිකිරීමට ද සැලසුම් සකස් කර ඇති බවත් මෙම සාකච්ජාවේ දී අනාවරණය විය.
එමෙන්ම ලබන වර්ෂය තුලදී (2026) මෙහි ඉදිකිරීම් ආරම්භ කර, වසර තුනක් තුලදී ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් මෙහි දී අනාවරණය විය.
දෙනියාය හෑන්ඩ්ෆෝර්ඩ් (Handford) වතුයායෙන් වෙන්කරන ලද අක්කර 29 ක භූමි ප්‍රමාණයක මෙම නව රෝහල ඉදකිරීමට නියමිත අතර නව රෝහලේ ගෘහ සැලසුම් නිර්මාණ කිරීම මෙන්ම සියළු සැලසුම් නිර්මාණය කිරීම සහ ඉදිකිරීම් උපදේශක සේවා මධ්‍යම ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යංශය (cecb) මගින් සිදු කරනු ලබයි.
වත්මන් දෙනියාය මූලික රෝහල 1890 දශකයේ ආරමභ කර ඇති බවත්,එය සීමිත පහසුකම් වලින් පිරි “බී” ශ්‍රේණියේ මුලික රෝහලක් බවත්, මෙහි ප්‍රතිකාර ලබන රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීම සදහා මාතර මහ රෝහල වෙත යා යුතු බවත්, ඒ් සදහා පවතින අධික දුරත්, වත්මන් තත්ත්වය පිළිබදවත් අවධානය යොමු කරමින් සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහි දී අවධාරණය කර සිටියේ ය.
ශ්‍රී ලංකා රජයේ අරමුදල් මෙන්ම විදේශ ආධාර ද එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද පැවසූ ලේකම්වරයා කඩිනමින් මෙම ව්‍යාපතිය අවසන් කර ප්‍රදේශයේ ජනතාවට ප්රශස්ත, ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට කටයුතු කරන බවත්, වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මෙම විශේෂ ව්‍යාපෘතිය පිළිබදව විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බවත් පැවසී ය.
මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කරන ලෙසට තමන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවද ලේකම්වරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය. මෙම සාකච්ජාවෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වත්මන් දෙනියාය මූලික රෝහලේ සහ ඉදිකිරීමට යෝජිත නව රෝහල සදහා වෙන්කර ඇති භූමියේ ද විශේෂ නිරීක්ෂණයක නිරත විය.

