"දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම" යන මැයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනා සම්මතය අනුව විවාදය හෙට (09) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තු මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.
මේ අනුව විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කිරීමටත් ආණ්ඩු පාර්ශ්වය විසින් එය ස්ථීර කිරීමටත් මෙහිදී එකගත්වය පළ වී ඇත.
ඒ අනුව, හෙට දිනයේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සහ 2023 මුදල් වර්ෂය සදහා රු. බිලියන 231.5 කට අදාළ අනුමතිය ලබා ගැනීම සදහා අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව පෙ.ව. 09.30 ට විවාදයකින් තොරව අනුමත කිරීමට මෙහිදී තීරණය වී ඇත.
තවද හෙට දිනයේ විමසීමට නියමිතව තිබූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කිරීමටත් මෙහිදී එකගත්වය පළ වී තිබේ.
ඉන් අනතුරුව, හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා "දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම" යන මැයෙන් වන යෝජනාවට අදාළව විවාදය පැවැත්වෙන බවත්, ප.ව. 5.30 ට එම යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවත් වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දුෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතු යැයි ද, දුෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් යුතුව පවත්වා ගෙන යාම සඳහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු යැයි ද එකී යෝජනා සම්මතය මගින් දක්වා ඇත.