දුරගමන් මගීන්ට ඔන්ලයින් හරහා කලින් ආසන වෙන් කිරීමේ අවස්ථාව
දුරගමන් මගීන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (Online Seat Booking) කලින් ආසන වෙන්කර ගැනීමේ පහසුකම හඳුන්වා දී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මෙම නව සේවාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (05) බත්තරමුල්ලේ “මගනැගුම මහමැදුර” හි පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ජනතාවගේ දෛනික ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බවයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස පෞද්ගලික බස් රථ සඳහා ආරම්භ කළ මෙම ක්‍රමය මඟින් මගීන්ට බස් ගමන් වේලාවන් කලින් දැනගෙන නිවසේ සිටම ආසන වෙන්කර ගැනීමට හැකි වේ. එමඟින් රස්තියාදු වීම, වෙන් කළ ආසන අහිමි වීම, හදිසි ගමන් අවලංගු වීම සහ අධික සේවා ගාස්තු වැනි ගැටලු අවම වන බවද ඔහු පැවසීය.
පෙරදී ආසන වෙන්කිරීම සඳහා රුපියල් 200 – 300 අතර මුදලක් අය වූ අවස්ථා තිබූ අතර, නව ක්‍රමය යටතේ එක් ආසනයක් සඳහා ගෙවිය යුත්තේ රුපියල් 30 ක පමණ මුදලක් බව සඳහන් කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහය ලබාදී ඇත්තේ SLT-MOBITEL ආයතනයයි.
SLT-MOBITEL සභාපති ආචාර්ය මෝතිලාල් ද සිල්වා මහතා සඳහන් කළේ, සන්නිවේදන සේවාවෙන් ඔබ්බට ගොස් පොදු ජනතාවගේ ගැටලු සඳහා ඩිජිටල් විසඳුම් ලබාදීමට ආයතනය කටයුතු කරන බවයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පැවසුවේ, ඉදිරියේදී සියලු ආසන වෙන්කිරීම් එක් මධ්‍යගත පද්ධතියක් (Centralized Booking System) යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම සේවාව යටතේ මාකුඹුර, ගාල්ල සහ මහනුවර වැනි ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන තෝරාගෙන ඇති අතර, එය සාර්ථක වූ පසු දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය.
ජනතාවට www.busticket.gov.lk වෙබ් අඩවිය හරහා හෝ 0112001266 දුරකථන අංකය මගින් ආසන වෙන් කර ගැනීමේ හැකියාව පවතී.
එසේම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සෘජුවම උපදෙස් ලබාගෙන ආසන වෙන් කර ගැනීමේ පහසුකම්ද ලබා දී ඇත.
මෙම සේවාව භාවිතා කිරීමේදී රුපියල් 30ක පමණ අමතර ගාස්තුවක් අයකරන අතර, කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම්ද සපයා තිබේ.
දැනට VISA සහ Master කාඩ්පත් මඟින් ගෙවීම් කළ හැකි අතර, ඉදිරියේදී QR සහ Mobile Wallet ගෙවීම් පහසුකම්ද හඳුන්වා දීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
