විහාරස්ථානයක සවිකර ඇති පෞද්ගලික සමාගමකට අයත් දුරකථන කුළුණට 4G තාක්ෂණය සවි කිරීමට තමන් දුරකථන සමාගමෙන් පැමිණි බවට විහාරාධිපති හිමියන් දැනුවත් කර, එම කුලුනට සවිකර තිබූ තුන් ලක්ෂ පනස් දහසක් වටිනවා වායුසමීකරණ යන්ත්ර දෙකක් , අකුණු සන්නායක තඹ කම්බියක් සොරකම් කර ලොරි රථයකින් පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ ( 26දා) විමර්ශනයක් ආරම්භ කළ බව ගිරානේගම පොලීසිය පවසයි.
මෙම පෞද්ගලික දුරකථන සමාගමේ සේවකයෙකු ඊයේ (26 දා) ගිරානේගම පොලිස් වසමේ බුදුගේ හින්න විහාරස්ථානයේ සවිකර තිබූ දුරකථන කුළුණ පරික්ෂා කිරීමට පැමිණ ඇති බවත්, එහිදී කුළුණ පාමුල සවිකර තිබූ එහි උපාංග නොමැති බව දැන ගැනීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල සිදු කර තිබූ බව පොලිසිය කියයි.
එම සේවකයා මේ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් දැනුවත් කිරීමේදී උන්වහන්සේ පවසා ඇත්තේ, පසුගිය 20 හෝ 21 දින උදෑසන, බට්ටා ලොරි රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තමන් අදාළ දුරකථන සමාගමින් පැමිණි බවය, එම කුළුණට 4G සවි කිරීමට පැමිණි බව පැවසුව ඔවුන් දෙදෙනා, එය නිම වීමෙන් අනතුරුව එහි කොටස් වගයක් ලොරි රථයේ දමා ගෙන රැගෙන ගිය බව විහාරාධිපති හිමියන් පවසා ඇතැයි, පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව ලොරි රථයකින් පැමිණි සොරුන් දෙදෙනා විසින් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් වටිනා විදුලි වායු සමීකරණ යන්ත්ර දෙකක්, තඹ අකුණු සන්නායක සන්නායකයක් සොරකම් කර ඇති බව පවසමින් මෙම පැමිණිල්ල ලැබී ඇතැයිද පොලීසිය කියයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගිරානේගම පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.