ශ්‍රී ලංකාවේ දැනට වගා නොකළ පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් පමණ ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ පිහිටා තිබේ. දිවයිනේ ඇති පුරන් කුඹුරුවලින් වගා කළ හැකි කුඹුරු ප්‍රමාණය අක්කර 50,000ක් පමණ වන අතර ඉතිරි පුරන් කුඹුරු ප්‍රමාණය වගා කිරීමට නොහැකි තත්ත්වයක පවතී.
මේ නිසා වගා කළ හැකි පුරන් කුඹුරු සියල්ලම වගා කිරීම යටතේ එම කුඹුරු අයිතිකරුවන් විසින් වගා නොකරන්නේ නම් කුඹුරු නොමැති පුද්ගලයින්ට ඒවා වසර පහක කාලයකට පවරා නැවත වගා කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පුරන් කුඹුරු යළි වගා කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කරනු ලැබීය. ගොවිජන සංවර්ධන පනත යටතේ වගා නොකළ කුඹුරු ඉඩම් වගා කිරීම සඳහා කුඹුරු වසර පහකට පවරා දීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව පසුගිය සතියේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පසුගිය මාසයෙහි ප්‍රගතිය පිළිබඳව සමාලෝචන රැස්වීමක් පැවැති අතර එහිදී මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 08ක පුරන් කුඹුරු ශුන්‍ය කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙසේ පුරන් කුඹුරු ශුන්‍ය කර ඇත්තේ අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල, අම්පාර, හම්බන්තොට, මඩකලපුව, කිළිනොච්චි හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලයි.
මෙම දිස්ත්‍රික්ක 08හි අක්කර 21,200ක් පුරන් කුඹුරු පැවැති අතර ඒවා සියල්ලම ලබන මහ කන්නයේ දී වගා කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
මේ අතර බස්නාහිර පළාතේ වගා කිරීමට නොහැකි පුරන් කුඹුරු ඉන්දුනිසියානු වගා ක්‍රමයක් වන සෝජාන් වගා ක්‍රමය ඔස්සේ වගා කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. සෝජාන් ක්‍රමය යටතේ වගුරු සහිත ඉඩම්වල එළවළු හා පලතුරු වගාව මෙන්ම පාත්ති වටා තිබෙන ගැඹුරු ඇළවල්වල මිරිදිය මත්ස්‍ය වගාව ද සිදු කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර තිබෙන වැඩ පිළිවෙළ ශක්තිමත් කරමින් වගා කළ හැකි සෑම පුරන් කුඹුරක් ම නැවත වගා කිරීමට පියවර ගන්නා ලෙසත්, ලබන වසර අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ සියලු පුරන් කුඹුරු ශුන්‍ය කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මෙම ප්‍රගති සමාලෝචනයට අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.