දිවයිනේ ප්‍රධාන ජලාශ 74ක ජල ධාරිතාව සියයට 34 දක්වා පහළට
දිවයිනේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව මේ වනවිට 34%ක පමණ පහළ මට්ටමකට වැටී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්යක්ෂ, ඉංජිනේරු එස්. සුරියබණ්ඩාර මහතා පවසයි.
පසුගිය පැය 24ත් 48ත් අතර කාලය තුළ බස්නාහිර, වයඹ, සබරගමුව යන පළාත්වලට මෙන්ම මාතර, ගාල්ල, මහනුවර, නුවරඑළිය, බදුල්ල, අම්පාර, මඩකලපුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්රදේශවලටද යම් වර්ෂාපතනයක් ලැබී තිබේ. ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 40ක පමණ අගයක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන රැසකට මිලිමීටර් 25ත් 30ත් අතර වැසි ඇදහැලී ඇත.
මීට අමතරව, වියළි කලාපයේ ඇතැම් ප්‍රදේශවලට මෙන්ම මාදුරුඔය සහ ඒ ආශ්රිත ප්‍රදේශවලට පසුගිය දිනවල මිලිමීටර් 100ක පමණ තද වැසි ලැබී තිබුණද, එම වර්ෂාපතනයත් සමඟ ප්‍රධාන ගංගා හෝ ජලාශවල ජල මට්ටම්වල සැලකිය යුතු ඉහළ යාමක් සිදු වී නොමැති බව අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනවලට අනුව අද දිනයේදීද ඌව සහ නැගෙනහිර පළාත්වලට වර්ෂාව අපේක්ෂා කෙරෙන අතර, එළඹෙන මහ කන්නය වෙනුවෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ අතර, මහවැලි ජලාශවල පවතින සමස්ත ජල ධාරිතාව මේ වන විට 55%ක මට්ටමක පවතින බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ, ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

