දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට තිබූ කිකිළි පැටවුන් ලබාදිම ගම්පහ පමණක් ක්‍රියාත්මක කරලා
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කැඳවා 2021 - 2023 වර්ෂයන් සඳහා වූ විගණකාධිපතිවරයාගේ ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවත්, 2024 වර්ෂය සඳහා වූ විගණකාධිපතිවරයාගේ වාර්තාවත් සහ වර්තමාන කාර්යසාධනයත් පරීක්ෂා කෙරිණි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වය දරණ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA), ඒ මහතා නොපැමිණීම දන්වා තිබූ බැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් විය.
මෙහිදී 2021 අගෝස්තු 05 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නිර්දේශ වල වර්තමාන තත්ත්වය විමසා බලන බැලිණි.
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරික්ත මුදලින් 2013 වසරේදී ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබා දුන් ණය මුදල නැවත ගෙවීම පැහැර හැරීම නිසා රුපියල් මිලියන 167ක පමණ පාඩුවක් සිදුව ඇති බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. සමුපකාරයේ පවතින රීතිවලට පරිබාහිරව මෙම මුදල ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබා දී ඇති බවද මෙහිදී අනාවරණය විය. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව පාඩු ලැබීම නිසා 2015න් පසු මෙම ණය මුදල් පියවීම නතර කර ඇති බව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීහු පැවැසුහ. කරුණු සළකා බැලීමෙන් අනතුරුව මේ පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කාරක සභාවේදී තීරණය විය.
සමුපකාර සංවර්ධන අරමුදල මගින් ණය ලබා දී වර්ෂ 12ත් 59ත් අතර කාලයක් ගතවී ඇති සමුපකාර සමිති 28කින් රුපියල් මිලියන 31කට අධික මුදලක් අයකර ගැනීමට පවතින බව ජාතික විගණන කාර්යාලය විසින් පෙන්වා දෙන ලදී. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම සමිති 28න් 22ක්ම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි සමිති වීම නිසා ඍජු මැදිහත්වීමක් කළ නොහැකි නිසා මෙලෙස ණය මුදල් අයකර ගැනීමට අපහසු වී ඇති බව පැවසුහ. ඒ අනුව නව සමුපකාර පනත කඩිනමින් සකස් කර මෙවැනි අයකර ගැනීමට ඇති මුදල් ද කඩිනමින් අයකර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමට කාරක සභාව විසින් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට නිර්දේශ කරන ලදී.
මෙරට පැවති බිත්තර හිඟයට පිළියමක් ලෙස 2024 වර්ෂයේ දිවයිනපුර ක්‍රියාත්මක කළ යුතුව තිබූ දිනක් වයසැති කිකිළි පැටවුන් ව්‍යවසායකයින්ට ලබා දීමේ “රුපියල් මිලියන 50ක ව්‍යාපෘතිය” දිස්ත්‍රික් මට්ටමින් සිදු නොකර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 7ක පමණක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මේ සිදුවීමට අදාළව සම්පූර්ණ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
