ආසියානු ක්රීඩා උළෙල ඉතිහාසයේ පුරා දාහත් වසරක් ශ්රී ලංකාවට සිහිනයක්ව තිබූ මලල ක්රීඩා පදක්කමක් තවදුරටත් සිහිනයක් නොකරමින්, හෙල්ල විසිකිරීමේ ක්රීඩිකා දිල්හානි ලේකම්ගේ රත්තරන් වටින රිදී පදක්කමක් ශ්රී ලංකාවට ඊයේ (03දා) දිනාදුන්නාය.
චීනයේ හංජොහිදී පැවැත්වෙන මෙවර ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීම කාන්තා අවසන් තරගය මෙරට වේලාවෙන් ඊයේ ප.ව. 5.40ට ආරම්භ වූ අතර, ඒ සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ දිල්හානි මීටර 61.57ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනාගත්තාය.
දිල්හානි දැක් වූ මෙම දක්ෂතාව නව ශ්රී ලංකා වාර්තාවක්ද වන අතර, ඇය බිඳ දමනු ලැබුවේ ඉකුත් ජූලි මස තායිලන්තයේදී අවසන් වූ ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී ඇය විසින්ම මී. 60.93කින් පිහිටුවා තිබූ ශ්රී ලංකා වාර්තාවයි. එවර ඇයට ලෝකඩ පදක්කමෙන් සැහීමටද සිදු වූවාය. මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ රානි අන්නු (මී. 62.92) විසින්ද, ලෝකඩ පදක්කම චීනයේ හුයිහුයි ලියු (මී. 61.29) විසින්ද දිනාගත්තාය.
දිල්හානි දිනූ මෙම පදක්කමත් සමග රටවල් 45ක් අතරින් ශ්රී ලංකාවට පදක්කම් සටහනේ 27 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකි විය. මෙම පදක්කමට අමතරව ශ්රී ලංකාව මේ දක්වා දිනා ඇත්තේ කාන්තා ක්රිකට් රිදී පදක්කම පමණි.
දිල්හානි මෙම පදක්කම දිනාගැනීමට පෙර 2006 වසරේ දෝහා කටාර් ක්රීඩා උළෙලේදී සිට මේ දක්වා පැවති කිසිදු ආසියානු ක්රීඩා උළෙලක මලල ක්රීඩා පදක්කමක් ජයග්රහණය නොතිබිණි. කෙසේ නමුත් ශ්රී ලංකාව තවමත් වසර 23කින් ආසියානු ක්රීඩා උළෙලක මලල ක්රීඩා රන් පදක්කමක් ජයග්රහණය කර නොමැත.
