බුදුන්ට එරෙහිව කටයුතු කරනු ලැබුවේ බුදු සසුනේ පැවිදි වුණු කුමන අංගුලිමාලද යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දැනගැනීමට අවශ්‍ය බවත්, අනුන්ට බණ දේශනා කරන්න පෙර තමුන් සුදුසු ගුණයේ පිහිටා සිටිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපතිවරයා තමා සම්බන්දයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද (30දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වසල සූත්‍රයේ ගාථාවක් සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සහ සභානායක සුසිල් ප්‍රේමජයන් මහතා අතර අදහස් හුවමාරු වීමක්ද සිදුවිය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - ඛුද්දක නිකායේ, සුත්ත නිපාතයේ උරග වර්ගයේ ඇතුලත් පරාභව සූත්‍රයේ මෙහෙම තියෙනවා. සන්තස්ස පියා හොන්ති - සන්තේ න කුරුතේ පියං, අසතං ධම්මං රෝවේති - තං පරාභවතෝ මුඛං කියලා. පරාභව සූත්‍රයේ තිබෙනවා බුද්ධාදී මහා සඟරුවන සහ සත්පුරුෂයන් ප්‍රිය නොකරන්නේද, මිත්‍යා දෘෂ්ඨිය ඇති අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කෙරෙත්ද එය පිරිහීමේ දොරටුවයි කියලා.
ඒ වගේම වසල සූත්‍රයේ තිබෙනවා යො බුද්ධං පරභාසති, අථවා තස්ස සාවකං - පරිබ්බාජං ගහට්ඨං යා, තං ජඤ්ඤා වසලෝ ඉති යමෙක් සම්මා සම්බුදුන් හට, ගිහි පැවිදි පිරිස හට නින්දා කරයි නම් තමා වසලයෙක් වේ. මම මේ පාර්ලිමේන්තුවේ පරාභව සූත්‍රයයි, වසල සූත්‍රයයි ගැන සඳහන් කළේ ශාසනයට, මහා සංඝ රත්නයට අපහාස කිරීම වැරදියි කියන කාරණාවා පෙන්වන්න. ඊයේ දවසේ ජනාධිපතිතුමා ඒක ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒ නිසා කාරුණිකව නැවත වරක් මම එතුමාට පෙන්වා දෙන්න කැමතියි පරාභව සූත්රයෙත්, වසල සූත්රයෙත් සඳහන් වුණු ලොව්තුරු බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය.
අපි දන්නවා ජනාධිපතිතුමා හොඳට පොතපත කියවන පුද්ගලයෙක්. ඒත් ඊයේ ජනාධිපතිතුමා කියනවා සිවුරු ඇඳගෙන අංගුලිමාල බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරයි කියලා. එතුමා කළ ප්‍රකාශයේ බරපතල වරදක් තිබෙනවා. ඒ වරද මුල්කරගෙන එක් එක් අය එක් එක් ප්‍රකාශ කරන්න පුළුවන්. ජනාධිපතිතුමා බුදුදහම දන්නේ නෑ කියලා අපහාස කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ බුදු සසුනේ පැවිදි වෙලා බුදුන්වහන්සේට විරුද්ධව කටයුතු කළේ දේවදත්ත කියලා. ඒ වගේම අංගුලිමාල රහත් භාවය පත්වෙලා තමයි පැවිදි භාවය ලබා ගත්තේ. ඒ නිසා මම දැනගන්න කැමතියි බුදු සසුනේ පැවිදි වුණු මොන අංගුලිමාලද බුදුන්ට එරෙහිව කටයුතු කළේ කියලා. අනුන්ට බණ දේශනා කරන්න පෙර තමුන් සුදුසු ගුණයේ පිහිටා ඉන්න.
සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් - වසල සූත්‍රයේ මෙහෙමත් කියවෙනවා. නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රහ්මණෝ, කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්රාහ්මණා
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - සභානායකතුමා කළ ඒ ප්‍රකාශය බොහෝම වැදගත්. තමන් වසලයෙක්ද, බ්‍රහ්මණයෙක්ද කියන එක ක්‍රියාවෙන් ඔප්පු වෙනවා. දැන් ඒක ක්‍රියාවෙන්ම ඔප්පු වීගෙන යනවා කවුද බ්‍රහ්මණයා, කවුද වසලයා කියලා.