අභිරහස් ලෙස මියගිය ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සිසිටිවි කැමරා 42 ක පමණ දර්ශන පරික්ෂා කල බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
ඒ මහතා පදිංචිව සිටි කුරුඳුවත්ත මල් පාර නිවස අසල සිට බොරැල්ල සුසාන භූමිය දක්වා දිවෙන මාර්ගයේ සිසිටිවි කැමරා එලෙස පරික්ෂා කර ඇත.
ඉකුත් 15 වැනි දින සවස පහට පමණ දිනේශ් ශාෆ්ටර් මහතාව මෝටර් රථය තුළ දෙඅත් සහ ගෙල තදවන සේ වයර් වලින් සිරකර තිබෙනු දුටු විධායක නිලධාරීවරයෙකු කනත්තේ සේවකයෙකු සමග එක්ව එම බැමි ලිහා ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැය පහකට පමණ පසු ජීවිතක්ෂයට පත්විය.
විධායක නිළධාරීවරයා එලෙස සුසාන භූමියට පැමිණ තිබුණේ ඝාතනයට ලක්වූ සභාපතිවරයාගේ බිරිඳ දැනුම්දීමකට අනුව බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ සභාපතිවරයාගේ බිරිඳ, මෙන්ම විධායක නිළධාරීවරයකු සහ ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් යන අයගෙන් මෙන්න බොරැල්ල සුසාන භූමියේ සේවකයන් ඇතුළු පුද්ගලයන් විසි පස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද එම නිලධාරියා කීය.
තවද ඝාතනයට ලක්වූ දිනේෂ් මහතාගේ ජංගම දුරකථනය මෙන්ම ඊට අදාළ විමර්ශන සිදුකරන තවත් ජංගම දුරකථන කීපයක විශ්ලේෂණ වාර්තා ඔස්සේ ද විමර්ශන සිදු කිරීම ආරම්භ කර ඇති බව එම නිලධාරියා කීය
ඉකුත් 15 වෙනි දින දිනේෂ් ශාෆ්ටර් මහතා දහවල් එකයි තිහ ට පමණ නිවසින් පිටත්ව ගොස් තිබූ අතර බිරිඳට පවසා ඇත්තේ පැය භාගයක පමණ( meeting) රැස්වීමකට යන බව පවසා යැයි පොලීසිය කියයි.
තවද විධායක නිලධාරීවරයා වන ක්‍රිස් පෙරේරා යන අයට ඝාතනයට ලක්වූ සභාපතිවරයා පවසා ඇත්තේ බ්‍රයන් තෝමස් හමුවීමට යන බවට යයි පොලීසිය කියයි.
ඝාතනයට ලක්වූ සභාපතිවරයා මොඩල් ෆාම් ප්‍රදේශයේදී විධායක නිලධාරියාගේ ජංගම දුරකථනයට (ටවර් ලොකේශන් දමා ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වූ දින රාත්‍රී 8.15 ට පමණ ඔහුගේ බිරිඳ සමග එංගලන්තය බලා යාමට සියලු කටයුතු සූදානම් කර තිබී ඇතැයි ද ඒ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත සවස 4 පමණ වන විට යාමට තිබෙන බැවින් බිරිඳ ඔහුට වරින් වර ඇමතුම් ලබා ගෙන ඇතැයි ද සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
සභාපතිවරයාගේ අභිරහස් ලෙස ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙන අතර බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජේ එම් ආර් සමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ද පරීක්ෂණ පවත්වයි.