දින හතක් වයසැති පිරිමි දරුවකු රුපියල් පනස් දහසක මුදලකට පිටස්තර කාන්තාවකට විකුණු පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ආරම්භ කර ඇති බවත්, එම දරුවා මිලදී ගත් කාන්තාව සහ අතර මැදියා ලෙස කටයුතු කළ පුද්ගලයා ඊයේ (25 දා) අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ මෙම ගනුදෙනුවේ අතර මැදියා ලෙස කටයුතු කළ අනුරාධපුර ත්‍රීවිල් රථ රියැදුරෙකු බව පොලීසිය කියයි.
දරුවාගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, කළ විමර්ශනයකදී එම බිළිඳු දරුවා සමඟ සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තම බිලින්දා රුපියල් 50,000 ක මුදලකට විකුණූ පියා මෙම ගණුදෙනුවෙන් පසු ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බවත් ගණු දෙනුව සිදු කර දරුවා සහ මුදල් දෙපාර්ශ්වයට ලබා ඇත්තේ අතර මැදියා ලෙස කටයුතු කළ පුද්ගලයා බව හදුනා ගෙන ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
නීත්‍යානුකූලව විවාහ නොවී අනුරාධපුර නගරයේ විවිධ ස්ථාන වල අඹු සැමියන් ලෙස නවාතැන් ගෙන සිටින මෙම යුවලේ පිරිමි පුද්ගලයා (පියා) මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, කාන්තාව (මව) කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අද (26දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා යමුනා කාන්ති මහත්මිය ගේ මෙහෙයවීමෙන් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබූහ.