දිත්වා නිසා හානියට පත් එක් එක් පාසල් ගැන තොරතුරු ඉල්ලයි
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානියට පත් එක් එක් පාසලේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සතියක් ඇතුළත ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.
වතු ආශ්රිත පාසල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දී තිබේ.
දිට්වා සුළිකුණාටුවෙන් වතු ආශ්රිත පාසල්වලට සිදුව ඇති හානි, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, පාසල් ඉඩම් සම්බන්ධ ගැටලු, ගුරු පුරප්පාඩු, පාසල් සංවර්ධනය හා නැවත ඉදිකිරීම් ඇතුළු කරුණු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම ඌව, සබරගමුව හා මධ්‍යම පළාත්වල පූර්ණ හානි, අර්ධ හානි සිදුවූ හෝ වෙනත් ස්ථානයකට ගෙන යා යුතු පාසල් පිළිබඳව ද අවධානය යොමු විය.
දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් පාසල් යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය නිසි පියවර ගනිමින් සිටින බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ, සුළිකුණාටුවෙන් පසු පළාත් සභා මඟින් විවිධ තොරතුරු රැස් කිරීමට සිදුව ඇති බැවින්, අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර නිවැරදි දත්ත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.
හානියට පත් පාසල්වල දරුවන් වෙනත් පාසල්වලට අනියුක්ත කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එම දරුවන් පාසල්වලට නිසි ලෙස පැමිණෙන්නේද, අධ්‍යාපනය ලබන්නේද සහ ඔවුන් මුහුණ දෙන ගැටලු මොනවාද යන්න පිළිබඳ පසුවිපරමක් සිදු කළ යුතු බව අවධාරණය කළාය.
“සමහර පාසල්වලට දරුවන් අනියුක්ත කළත් ඔවුන් පාසල්වලට පැමිණ නැහැ. එවැනි දරුවන් පිළිබඳ කඩිනමින් සොයා බැලිය යුතුයි. තාවකාලික පාසල් ඉදිකිරීම පිළිබඳවත් වහාම අවධානය යොමු කළ යුතුයි. සියලු දරුවන් වෙනුවෙන් රජයක් ලෙස අප මැදිහත් වන නමුත් ඒ සඳහා නිවැරදි දත්ත අවශ්‍යයි,” යනුවෙන් ඇය පැවසුවාය.
වතු ආශ්රිත පාසල් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ පළාත් සභා නිලධාරීන් අතර නිසි සම්බන්ධීකරණයක් ඇති කර ගනිමින් නිවැරදි දත්ත රැස් කිරීමට කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා විශේෂයෙන් දෙමළ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, මෙවර ගුරු බඳවා ගැනීම් තුළින් පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවලින් සියයට 50ක් පිරවීමට අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය. පත්වීම් ලබන ගුරුවරුන් නියමිත පාසලේ අවම වශයෙන් වසර පහක කාලයක් සේවය කළ යුතු බව ද ඇය සඳහන් කළාය.
වතු ආශ්රිත පාසල් දරුවන් සඳහා වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීම මෙන්ම දෙමළ භාෂාවෙන් වෘත්තීය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව ද රජය විශේෂ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවාය.
මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මධුර සෙනෙවිරත්න සහ සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන බලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

