දිත්වා නිසා හලාවත රෝහලට රු. මි. 1200 කට වැඩි හානියක්
මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හමුවේ ජල ගැල්මට හසු වූ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (12) හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.
මෙම නිරීක්ෂණයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිශ්‍රය, සියලුම වාට්ටු, ඖෂධාගාර, හදිසි ප්‍රතිකාර ඒකකය, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩාව, රුධිර කාන්දුකරණ ඒ්කකය, ශල්‍යාගාර සංකීර්ණය, රසායනාගාරය, ලේ බැංකුව, එක්ස්රේ ප්‍රතිකාර අංශය, සී. ටී ප්‍රතිකාර අංශය, වෛද්‍ය නිල නිවාස, ඉදිකරමින් පවතින නව ගොඩනැගිලි සංකීර්ණය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිල නිවාස සහ නේවාසිකාගාර ඇතුළුව රෝහලේ සියලු අංශ පුළුල් ලෙස නිරීක්ෂණයට ලක්කෙරිණි.
නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍යවරයා හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග රෝහලේ ඉදිරි ප්‍රතිකාර සේවාවන් අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට අඳාළ ක්‍රියාකාරී සැලැස්ම පිළිබදවත්, ප්‍රධාන අවශ්‍යතා පිළිබඳවත් සියලු කාර්ය මණ්ඩලවල අදහස් හා යෝජනා විමසමින් දීර්ඝව කරුණු සාකච්ජා කෙරිණි.
රෝහල සංවර්ධනය සඳහා මෙවර අය-වැයෙන් රුපියල් මිලියන 650 ක පමණ මුදලක් වෙන් කර ඇති බවත්, එම මුදල් ද යොදා ගනිමින් දැනට රෝහලේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි සංකීර්ණ දෙකෙහි සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීම පිළිබඳව මෙහිදී අදහස් දැක්වමින් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පැවසීය.
ආපදාව හමුවේ රෝහල් කාර්ය මණ්ඩලය තම ජීවිත අවධානම ද නොතකා රෝගී ජිවිත ආරක්ෂා කර ගනිමින් සිදුකළ කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙවැනි ව්‍යසන ඉදිරියේදී ද සිදු විය හැකි බවත්, එවැනි අවස්ථාවල අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි අවධාණය යොමු කරන බව ද පැවසීය.
ආපදා තත්ත්වය හේතුවෙන් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට රුපියල් මිලියන 1200 කට වැඩි හානියක් සිදු ව ඇති බවත්, සාමාන්‍ය පරිදි රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 1200 පමණ මුදලක් වැය වෙනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
රෝහලේ ඉදිකරමින් පවතින වෛද්‍ය වාටිටු සංකීර්ණය ලබන වසරේ නොවැම්බර් මස වන විටත්, හදිසි අනතුරු හා ප්‍රතිකාර ගොඩනැගිලි සංකිර්ණය වසර 02 ක් වැනි කාලයක් තුළත් කඩිනමින් ඉදිකිරීම් අවසන් කිරීමට ද රෝහල මෙම පරිශ්‍රයේම ශක්තිමත්ව ගොඩනැගීමට කටයුතු කරන බව ද පැවසීය.
ඉහත කටයුතු සඳහා රජයෙන් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන සහ පරිත්‍යාගශීලීන්ගේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ලබාදෙනු ලබන ආධාර සහ ප්‍රදානයන් ද යොදා ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
ඉතා ඉහළ වටිනාකමකින් යුතු වෛද්‍ය උපකරණ නැවත ස්ථාපිත කිරීමේ දී ඉදිකරෙමින් පවතින ගොඩනැගිල්ලක පළමු දෙවන මහල්වල ස්ථාපිත කිරීම තුලින් නැවත වරක් මෙවැනි තත්ත්වයන් ඇති වුවහොත් එම උපකරණවලට සිදුවන හානිය අවමකර ගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලද අතර, රෝහල තිබුන මට්ටමට වඩා ඉහළ තත්ත්වයකින් ස්ථාපිත කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.
හලාවත නගර මධ්‍යයේ අක්කර 7 1/2 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති හලාවත දිස්ත්‍රික් මහ රෝහල පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රජයේ රෝහල වේ. මධ්‍යම රජයේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රධාන සෞඛ්‍ය සේවා ආයතනය ලෙස මෙම රෝහල මගින් විශාල ජනතාවකට රෝගී ප්‍රතිකාර සේවාවන් සපයනු ලබයි. දහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සහිත රෝහලේ ඇඳන් ධාරිතාව 645 අධික වේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

