දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් 2026 නව වසරේ මුල් සතිය තුළදී ක්‍රියාත්මක කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස විදේශ රැකියා වංචාකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි රාජ්‍යයේ කර්මාන්ත ශාලාවල සහයක රැකියා ලබාදෙන බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින්, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව වංචනික අයුරින් බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය Order Solutions නම් ආයතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (2026.01.08) වැටලීම් කරන ලදී. එම අවස්ථාවේ එහි තිබී ඩුබායි රාජ්‍යයේ රැකියා ගිවිසුම් 10ක්, අයදුම්කරුවන්ගේ පෝරම 27ක් හා අදාළ ලේඛන සකස් කළ පරිගණකයද නිලධාරීන් භාරයට ගත් අතර, සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අද දින (1/9) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ අතර, ජපන් භාෂාව පුහුණු කරන ආයතනයක් ලෙස පවත්වාගෙන යමින් ජපානයේ රියදුරු රැකියා ලබාදීමට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළකළ සමුරායි ජැපනීස් ලැන්වේජ් සෙන්ටර් නම් ආයතනයක් වැටලීම් කර අදාළ ස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකු ඊයේ දින (1/8) විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මහරගම පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ආයතනය පරීක්ෂා කිරීමේදී රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකුගේ, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ හා වෙනත් පුද්ගලික අධ්‍යාපන ආයතනවල නමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා විශාල ප්‍රමාණයක්ද, වංචනික ලෙස සකස් කරන ලස අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සහතික පත්‍රද, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත පමණක් නිකුත් කරනු ලබන ශිෂ්‍ය කාර්ය වාර්තා 100 බැගින් අඩංගු රජයේ මුද්‍රණ පොත් 2ක්ද නිළධාරීන් භාරයට ගන්නා ලදී.
වැඩිදුර කරුණු සොයාබැලීමේදී මෙම ආයතනය මගින් ජපන් භාෂාව උගන්වා, අධ්‍යාපන සුදුසුකම් නොමැති අයට ව්‍යාජ ලේඛන සකසා ජපානයට යැවීමට කටයුතු කරන බව අනාවරණය වී තිබේ. මෙම ආයතනය පවත්වාගෙන ගිය කාන්තාවන්ගේ ඥාතියෙකු ජපානයේ සේවය කරන අතර, ඔහුගේ මාර්ගයෙන් මෙම රැකියා අවස්ථා ලබාදෙන බවද අනාවරණය වී ඇත.
කූට ලේඛන සකස් කිරීම, භාවිතා කිරීම හා සන්තකයේ තබාගැනීම යන චෝදනා යටතේ අදාළ ආයතනය පවත්වාගෙන ගිය කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන බොරලැස්ගමුව පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද අතර, අද දින (1/9) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජනවාරි මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.
මේ අතර, නිට්ටඹුව නගරයේ Shine star power net (Pvt) Ltd නමින් යුරෝපා රටවලට ශිෂ්‍ය වීසා උපදේශන ආයතනයක් ලෙස පවත්වාගෙන යමින් ඩුබායි රාජ්‍යයේ කර්මාන්ත ශාලාවල රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 2ක මුදලක් වංචාකළ ආයතනයක් විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් වැටලීම් කර එහි හිමිකාරිණිය අත්අඩංගුවට ගන්නා ලදී. අදාළ ස්ථානය පරීක්ෂා කිරිමේදී විදේශ ගමන් බලපත්‍ර 2ක්, රැකියා වීසා බලපත්‍ර, රැකියා ලබාදෙන බවට අත්සන් කරන ලද බැඳුම්කර 16ක් නිළධාරීන් භාරයට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකාරිය අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජනවාරි මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඇයට විරුද්ධව මීට සමාන තවත් නඩු 2ක්ද අත්තනගල්ල අධිකරණයේ පවරා ඇත.
එසේම ග්රිසියේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචාකළ වත්තල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. සැකකාරිය වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව යලි මුදල් වින්දිතයින්ට ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂයක මුදලක් අධිකරණ පරිශ්‍රය තුළදීම ලබාදුනි. ඒ හේතුවෙන් අදාළ සැකකාරිය ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ කාර්යාංශයේ කිසිඳු අනුමැතියකින් තොරව දැන්වීම් පළකරමින් වංචනික කටයුතුවලට හවුල් වෙමින් සිදුකරන ප්රචාරක කටයුතු මගින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් වංචාකරන සිදුවීම් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතී. එම දැන්වීම්වලින් බහුතරයක් ව්‍යාජ දැන්වීම් වන අතර, ඒ සඳහා කාර්යාංශයේ අනුමැතියද ලබාගෙන නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කාර්යාංශයේ අනුමැතියකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන නීතිවිරෝධි ප්‍රචාරනයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව කාර්යාංශය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
