ආණ්ඩුව එක් දිශාවක් දෙස පමණක් බලා වැඩ කටයුතු කිරීමෙන් දැවැන්ත පිපිරීම් වලට ඉඩකඩ ලැබෙන බව ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳව අද (16දා) පාර්ලිමේන්තුවේ දෙවන දිනටත් පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරන්නේ කොහොමද මේ අධික පොලී අනුපාතයත් එක්ක? පසුගියදා අවසන් වුණු භාණ්ඩාගාර බිල්පත අලෙවි වුණේ 33%ට. ඒ අනුව බැංකු 25%ට ඩිපොසිට් භාරගෙන 33%ට මහබැංකුවට දීලා, මහබැංකුව ඒක ආණ්ඩුවට දෙනවා. ඒ අනුව කොහොමද ව්‍යාපාරිකයෝ මේවා ගෙවන්නේ? වෘත්තීය වේදීන් මත උපයන විට ගෙවන බදු පනවනවා. ඒක හොඳයි.
නමුත් වෘත්තීය වේදීන් ඒක මත පදනම් වෙලා රට හැර යනවා නම්, ව්‍යාපාර කඩා වැටෙනවා නම්, ව්‍යාපාර විතැන් වෙනවා නම් වෙනත් රටවල් වලට අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි වෙන්නේ.
ඒ නිසා මම ආණ්ඩුවට යෝජනා කරනවා සමාජ සාධක සැලකිල්ලට ගන්නේ නැතිව අපි සල්ලි අච්චු ගැහුවා, අපි ඩොලරය 198 තියාගෙන ආඩම්බර කතා කිව්වා. ඒ ආඩම්බර කතා වල ප්‍රතිඵල අපි දැක්කා මහ දැවැන්ත මහජන පිපිරීමත් එක්ක. ඒ නිසා මේ එක දිශාවක් දිහා විතරක් බලා කටයුතු කිරීමෙන් දැවැන්ත පිපිරීම් වලට ඉඩකඩ ලැබෙන්න ඉඩ තිබෙනවා."