දැන් රට තුළ පවතින්නේ සටන් විරාමයක් බවත්, සමාජ පිපිරීම අත්‍යාසන්නයටම පැමිණ ඇති බවත් 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අද පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා විසින් අර්බුදයට ලක්ව තිබෙන බලශක්ති ක්ෂේත්රය ගොඩ ගැනීම සඳහා යෝජනා 7 කින් යුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.
“අද ආර්ථිකය බුන්වත් වෙලා. ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනල්ලා 2019 බදු සහන දීලා ඉන් අනතුරුව අද මේ බලශක්ති ක්ෂේත්රය, පුද්ගලික අංශයට, කියන්නේ තවදුරටත් 2002 සිදුකරන ලද ඒ ලිබරල් කරන ප්‍රතිපත්තිය තවදුරටත් කිරීමට පනතක් ගෙන ඒම අභාව වාචක සිද්ධියක් හැටියට ඉතිහාසයේ සඳහන් වෙනවා ඇති. අද බොහෝ දෙනෙක් කතා කළා මෙතන දැන් ගෑස් පෝලිම් නෑ. තෙල් පෝලිම් නෑ. විදුලිය කැපෙන්නේ පැය දෙකයි. ඒ නිසා දැන් රටේ තත්වය සාමාන්‍ය අතට හැරිලා තියෙනවායි කියලා. ඇත්තටම මේ අර්බුදයේ සටන් විරාමයක් තමයි දැන් එළඹිලා තියෙන්නේ. “
අපි දන්නවා මේ රටේ මාසයක වියදම් ගත්තොත් ආසන්නයෙන් ඩොලර් මිලියන 1100 ක් -1200 ක් පමණ අපනයන ආදායමක් තිබුණා. ඒ වගේම අපේ වියදමක් තිබුණා ඩොලර් මිලියන 1900 ක පමණ ආනයන වියදම. අපට තිබුණා මාසයකට ඩොලර් මිලියන 600 ක් පමණ විදේශ ණය ගෙවීමේ අවශ්‍යතාවයක්.
අද කොහොමද මේ සමතුලිතතාවය ළඟාකරගෙන තියෙන්නේ? අර 1900 තිබිච්ච ආනයන වියදම, 1006 ට ගෙනල්ලා තියෙනවා. ඩොලර් මිලියන 600 ක ණය ගෙවීම සම්පූර්ණයෙන්ම අත්හැරලා තියෙනවා. ඒ ණය ඒ විදිහට අපි අන්තර්ජාතික මූල්‍ය වෙළද පොලෙන් ණය නොගෙවපු බුන්වත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊළඟ දශකයේදී අපිට මූල්‍ය වෙළෙඳ පොළෙන් ණය ගන්න බැහැ.
තෙල් ගෑස් ගත්තොත් අද ගෑස් ඉල්ලුම හරියටම 50% කින් අඩු වෙලා තියෙනවා. ඛනිජ තෙල් ඩීසල් ඉල්ලුම 52% කින්. පෙට්‍රල් ඉල්ලුම 26% කින් අඩුවෙලා තියෙනවා. සමස්තයක් හැටියට ගත්තහම මේ පෙට්‍රල්, ඩීසල් ආනයනයට ගිය වියදම අද 40% කින් අඩු කරලා තියෙනවා. ඒ මගින් වෙලා තියෙන්නේ මොකක්ද? ඒ වගේම විදුලි ඉල්ලුම. විදුලි ඉල්ලුම 20% කින් පමණ අඩු වෙලා තියෙනවා. ආර්ථිකයේ සෘණ වර්ධනය 10% කිට්ටු ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. කර්මාන්ත වැහෙනවා. සේවා අහිමි වෙනවා. රැකියා අහිමි වෙනවා. ඒ අනුව මතක තබා ගත යුතුයි අපි සියලු දෙනාම මේ ඇතිවෙලා තියෙන සටන් විරාමය ඊළඟ වටයේදී එන්නේ දැවැන්ත සමාජ කැරැල්ලක් හැටියටයි එන්නේ.”
අද මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දස ලක්ෂයක් තියෙනවා. ඒ දස ලක්ෂයෙන් අනූදාහක් පමණ මධ්‍ය පරිමාණ ව් යාපාර. ඒ අනූ දාහෙන් විසි හත්දාහක්ම මේ වෙනකොට වැහිලා ඉවරයි. ඊළඟ මාස තුන නැත්තං හතර ඇතුළත මේ ඉතිරි ව්‍යාපාරවලටත් මේ අලුත් බදු එක්ක මේ අලුත් පොලී අනුපාත එක්ක, මේ අලුත් උද්ධමන ක් රියාකාරීත්වය එක්ක ඉතාම බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න නියමිතයි”