ශ්‍රී දළදා වන්දනාවේ යෙදීම සඳහා දස දහස් ගණනින් අසරණ ජනතාව වැස්ස අව්ව නොතකා පෝලිම් වල සිටියදී ශ්‍රී දළදා මාලිගාවේ පිටුපස දොරෙන් හොර රහසේ ඇතුළුවීම සඳහා දළදා මාලිගාවේ බලධාරීන් විසින් විශේෂ අත්පලඳනාවක් නිකුත් කොට ඇති බව පැවසේ.
එම අත්පලඳනාව ඇති පුද්ගලයන් විෂ්ණු දේවාලය ඉදිරිපිටින් ගොස් ආණ්ඩුකාර කාර්යාලය අසලින් ඇති ශ්‍රී දළදා මාලිගා මාර්ගයේ ඇත් ගාල අසලින් ගොස් ශ්‍රී දළදා මාලිගාවේ පිටුපස දොරෙන් දළදා දැක්ම පැවැත්වෙන ස්ථානයට ඉතා පහසුවෙන් ප්‍රවිෂ්ට වීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බව පැවසේ.
එක් එක් දිනට විවිධ වර්ණවලින් මුද්‍රණය කොට ඇති එම අත්පලඳනාවේ ශ්‍රී දළදා මාලිගාවේ ලාංඡනය සහිතව ශ්‍රී දළදා මාලිගාව යනුවෙන් මුද්‍රණය කොට තිබෙන අයුරු දැක ගත හැකිය.මෙම ඡායාරූපය ගත් සෙනසුරාදා දිනයේ අත් පලඳනා වර්ණය වූයේ තද කොළ පාට සහ ළා කොළ පාටය.