දෙහිවල බෙල්ලන්තර හන්දියේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙක් ඊයේ (3) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ දෙහිවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන් ප්‍රගීත් දහනායක සහ කොස්තාපල් රවිඳු නිලධාරීන් ය.
සැකකරුවන්ට අයත් මෝටර් රථ දෙකක් සහ යතුරු පැදියක් පොලිසිය භාරයට ගෙන ඇත
තුවාල ලද නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් වී ඇත
පොලිස් නිලධාරීන් දෙදෙනා දෙහිවල බෙල්ලන්තර හන්දියේ දී මාණ්ඩලික සංචාර රාජකාරියේ යෙදී සිටියදී බීමත්ව සිටි පුද්ගලයන් පස්දෙනෙක් කලහ කාරි ලෙස හැසිරී ඇතැයි පොලිසිය කියයි .
අවස්ථාවේදී පොලිස් සැරයන්වරයා එම පිරිස අමතා මාර්ගයෙන් රැඳී නොසිට නිවෙසට යන ලෙස දැනුම් දීමත් සමගම එම පිරිස පොලිස් නිලධාරින් සමග බහින්බස් වී ඇති බව පොලිස් නිලධාරියෙකු කීය .පිරිසේ සිටි පුද්ගලයකු පොලිස් සැරයන්වරයාගේ මුහුණට පහරදී ඇති අතර එය වැලක්වීම සඳහා කොස්තාපල්වරයා උත්සාහ කිරීමේදී ඔහුට ද පහරදී ඇතැයි පොලිසිය කියයි
සැකකරුවන් පහරදීමෙන් එක් සැරයන්වරයාගේ මුහුණටත් ,කොස්තාපල්වරයෙකු වරයාගේ අතකට තුවාල සිදුවී ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සැලවී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කිහිප දෙනකු . සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැරයන්වරයා ට පහරදුන් සැකකරු පලාගොස් පසුව නීතිඥවරයකු මගින් පොලිසියට බාර වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් සාපරාධි බලහත්කාරය පෑම අඩත්තේට්ටම් කිරීම යන චෝදනා යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ