බරපතළමූල්ය වංචා, දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි අධිකරණයලබන 14 වැනිදා විවෘත කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ‘අද’ පුවත්පතට පැවසුවාය.
1978 අංක 02 දරන අධිකරණ සේවා සංවිධාන පනත සංශෝධනය කරමින් බරපතළ මූල්‍ය වංචා, දූෂණ විමර්ශනය සඳහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයපිහිටුවනු ලැබීය.
විශේෂ මහාධිකරණය පිහිටුවන ස්ථානය සම්බන්ධයෙන් පැවැති ප්‍රශ්න හේතුවෙන් එය පිහිටුවීම කල්ගත වූ බවත්,දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අලුත්කඩේ මහාධිකරණ ශාලා අංක 01හි පිහිටුවීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.
අධිකරණ අමාත්‍යාංශය මගින් එය නිල වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට භාරදෙන බවත්,ඉන් පසු එහි භාරකාරීත්වය අගවිනිසුරුවරයා සතුවන බවත් තලතා අතුකෝරළ මහත්මිය පවසා සිටියාය.
විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 09 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර, ඊට අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා පිහිටුවිණි.
දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර, ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩකිරීම, මූල්‍ය අපහරණය, මූල්යවිශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපොළ අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම එහිදී සිදුවේ.