“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන සමෘද්ධිය සඳහා සුදුසුකම් ලබන එහෙත් එය නොලබන පවුල් නඟා සිටුවිම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අරමුණ වේ.
එවැනි පවුල්වල ශ්‍රම බලකායට දායක විය හැකි පිරිස හඳුනා ගෙන සුදුසු ක්ෂේත්රයන්හි පුහුණුව ලබාදී රැකියා අවස්ථා ලබාදීම මෙමඟින් සිදු කෙරේ.
කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ සඳහා තෝරා ගැනේ. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කෙරේ. ඔවුන් මෙහෙයවීමේ හා කළමනාකරණ කාර්යයන් සඳහා ද තවත් රැකියා 30,000ක් පමණ උත්පාදනය වේ. උපාධිධාරින් 10,000 පමණ කළමනාකරණ හා ක්ෂේත්‍ර මට්ටමේ අධීක්ෂණ තනතුරු සඳහා රැකියා අවස්ථා ද මේ යටතේ විවෘත වනු ඇත.
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම 300ත් 350ත් අතර පිරිසක් මේ යටතේ බඳවා ගැනේ. ඔවුන් පාසල්, රෝහල් හා වෙනත් රාජ්‍ය ආයතනවල ඇති අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නොවන පුරප්පාඩු සඳහා අනුයුක්ත කෙරේ. වඩු, පෙදරේරු, කෘෂි, ධීවර, වන සංරක්ෂන වැනි ක්ෂේත්‍ර සඳහා සහ ඒ ඒ පළාත්වලට අවැසි වන පරිදි පුහුණුවීම් කොට සේවයේ පිහිටුවිමට ද පියවර ගැනේ.
වැඩසටහන ජනවාරි මස 15 වනදා ඇරඹේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණය යටතේ බඳවා ගැනීම් සහ පුහුණුවීම් සිදු කෙරේ.
මෙම වැඩපිළිවෙළ තම මැතිවරණ මෙහෙයුම් ක්‍රියාවලියේ දී මතුවු අදහසක් බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කාර්යක්ෂම අයුරින් වැඩසටහන ක්‍රියාවට නැංවීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. මෙමඟින් දිළිඳු පවුල් ඉන් මුදවා ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතුබව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙම සංකල්පය මගින් වාර්ෂිකව කෘෂි නිෂ්පාදන ආනයනය සඳහා කෙරෙන රුපියල් මිලියන 2000ක මුදල පහළ මට්ටමකට ගෙන ඒමට හැකිවනු ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා පෙන්වා දුන්නේය.
රජයේ දේපළ නඩත්තුව සහ සිවිල් කාර්යයන් සඳහා රජයේ නියෝජිතයන්ට සහායවීම, ඩෙංගු ඇතුළු රෝග මර්දනයට දායකවීම, ස්වභාවික ආපදාවලදී සහායගැනීම, ග්‍රාමිය යටිතල පහසුකම් නඟා සිටුවීම, වෙරළ සංරක්ෂණයට සහායවීම වැනි ක්ෂේත්‍ර සඳහා ද මෙම බලකායේ සහාය ලබා ගැනේ.
ඔවුන්ගේ හැකියාවන් සහ දක්ෂතා මත විදේශ රැකියා අවස්ථා උදාකරදීමට ද තවත් අදියරක් යටතේ අපේක්ෂා කෙරේ. වසර දහයක සේවා කාලයක් සම්පූර්ණ කිරිමෙන් අනතුරුව විශ්‍රාම වැටුප් ක්‍රමයකට ද මේ පිරිස දායක කර ගැනිමට සැලසුම් කර ඇත.
රුපියල් 3500ක් වැනි සමෘද්ධි ආදායමක් ලැබූ පිරිසට රැපියල් 35,000 දක්වා ආදායමක් ලැබීමට මේ නිසා හැකි වේ. එය රට තුළ ආකල්පමය වෙනසක් සිදු කිරීමට පාදක වනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.
මෙය දිළිඳු පවුල් සඳහා පමණක්ම විය යුතුය. නිවසටම ගොස් සැබෑ තතු විමසා සුදුස්සන් බඳවා ගැනීම කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. බඳවා ගැනීම් වලදි මෙතෙක් වු වැරදි සිදුවීමට ඉඩ නොතබන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.