දකුණු මුහුදු තීරයේ මෙහෙයුමක නිරත සිටියදී අතුරුදහන්ව සිටින නාවික හමුදා සාමාජිකයන් හයදෙනා හා යාත්‍රාව සොයා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත්, ඒ සඳහා විදේශ රටවල්වලින්ද මේ වනවිට සහායෝගය ලබාගෙන තිබෙන බවත් නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.
හයදෙනෙකුගේ සමන්විත මෙම නාවික හමුදා කණ්ඩායම පසුගිය මස 16වැනිදා මෙහෙයුම සඳහා දකුණු මුහුද තීරයට ගොස් තිබෙන බවත්, ඊට පසු දින වන 17වැනිදා සිට ඔවුන්ගේ සන්නිවේදන බිඳවැටී තිබෙන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික සිල්වා මහතා පැවසීය.
මෙම පිරිස් හා යාත්‍රාව සොයාගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙරටට අයත් මුහුදු ප්‍රදේශවල අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් තිබෙන බවත්, ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනිසියාව සහ ඔස්ට්‍රේලියාවෙන්ද අදාළ මුහුදු ප්‍රදේශවල සොයා බැලීම් සිදුකරන ලෙස ඉල්ලීම් සිදුකර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
අදාළ යාත්‍රාව සමග පැවති සන්නිවේදන බිඳවැටී ඊයේ දිනට මාසයක කාලයක් ගත වී තිබෙන අතර, මෙම පිරිස් දකුණු මුහුදු තීරයේ සැක කටයුතු යාත්‍රා පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා යොදවා සිටි පිරිසක් වේ.
මෙරට තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන මුහුදු කලාපයක් ලෙස දකුණු මුහුදු කලාපය නම් වී තිබෙන අතර, මේ නිසා නාවික හමුදාව විසින් අදාළ මුහුදු කලාපය තුළදී නිරතුරුවම යාත්‍රා පරීක්ෂා කරමින් රට තුළට නීතිවිරෝධී භාණ්ඩ රැගෙන ඒම වළක්වනු ලබයි.