අලුතින් ඉදිකරන ලද පොල්පිටිය - හම්බන්තොට 220 kV සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්‍රිඩ් උපපොළ අද (24දා) බලගන්වා ජාතික පද්ධතියට එක් කරන ලද බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටී.
මෙම සම්ප්‍රේෂණ මාර්ගය සහ ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම උදෙසා අරමුදල් සැපයීම ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් සිදු කරන ලද අතර, ඒ අනුව ඔවුන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 55ක මුදලක් ව්‍යාපෘතිය සඳහා සපයන ලදී.
කිලෝමීටර 150 ක දිගකින් යුක්ත මෙම සම්ප්‍රේෂණ මාර්ගය අඹගමුව සිට හම්බන්තොට දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් හරහා දිවෙන අතර, එහි සම්ප්‍රේෂණ මාර්ග ධාරිතාවය 580 MVA වේ. එමෙන්ම ට්‍රාන්ස්ෆෝමර දෙකකින් යුක්තව හම්බන්තොට ග්‍රිඩ් උපපොළ ඉදිකරන ලද අතර, එහි සමස්ථ ධාරිතාවය 500 MVA වේ.
සම්ප්‍රේෂණ ජාලයේ සිදුකරන ලද මෙම වැඩිදියුණු කිරීම සමඟ, දකුණු පළාතේ විදුලිබල ජාල පද්ධතිය වඩාත් ශක්තිමත්වූ අතර, එමගින් විදුලිබල සැපයුමේ ඇති ගුණාත්මක භාවය වර්ධනය වීම මෙන්ම දකුණු පළාත තුළට සහ ඉන් පිටතට විදුලිබල සම්ප්‍රේෂණය කිරීමේ ධාරිතාවය ද ඉහළ නංවා ඇත.
