කොට්ටාව සිට මත්තල දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයේ යෙදෙන රියැදුරන්ට සහ මගී ජනතාවට විවේකය ලබා ගැනීම හා පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් මාතර, උඩුකාව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත විවේක ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ආරම්භ කෙරිණ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම හා කොක්මාදූව අතර 119 වන කිලෝමීටරය ආසන්නයේ මෙම විවේක ගැනීමේ මධ්‍යස්ථානය ඉදි කෙරේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 43 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, එක්වරකදී රථවාහන 30 ක පමණ සංඛ්‍යාවකට පහසුකම් ලබාගැනීමේ අවස්ථාව සැලසේ. දෙවන අදියර යටතේ මෙහි ධාරිතාවය වැඩිකර සියලු පහසුකම් සහිතව අංග සම්පූර්ණ සේවා ප්‍රදේශයක් ලෙස වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට පවතින්නේ වැලිපැන්න ප්‍රදේශයේ සේවා මධ්‍යස්ථානය පමණක් වන අතර, රියැදුරන් හා මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් ව්‍යාපෘතියක් ලෙස මෙම නව සේවා මධ්‍යස්ථානය ආරම්භ කෙරේ. මාස 03 ක කාලයක් ඇතුලත මෙහි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ උපාදස් හා මග පෙන්වීම අනුව කිලෝමීටර් 314 ක් වන අධිවේගී මාර්ග පද්ධතිය තුළ, මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙුනවෙන් මෙවැනි විවේක ගැනීමේ මධ්‍යස්ථාන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇත.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කම් ඉල්යාස්, මාර්ග සංවර්ධන අධිකරියේ සභාපති ටී. පාස්කරන්, අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (අධිවේගී මාර්ග නඩත්තු, වත්කම් හා කළමනාකරණ) පී. එච්. ගුණසිංහ යන මහත්වරු ඇතුලු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
