වැවිලි සමාගම් සතු සියලුම ඌන උපයෝජන ඉඩම් හඳුනාගෙන ආහාර භෝග වගා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.
වැවිලි සමාගම් සතුව වගා නොකරන ලද ඉඩම් හෙක්ටයාර නවදහසකට අධික ප්‍රමාණයක් පවති. සමාගම් 23ක් සතු එම වතුවල වගාවට සුදුසු භෝග හඳුනාගෙන වැවිලිකරුවන්ට ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
වැවිලි ක්ෂේත්රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් අද (03) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
තේ අපනයනයේ දී රටට හිමිවිය යුතු විදේශ විනිමය විනිවිදභාවයකින් පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා තේ වෙන්දේසිය ඩොලර්වලින් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බලන ලෙස ජනාධිපතිවරයා පැවසීය.
වැවිලි ක්ෂේත්රයේ කර්මාන්තශාලා සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ඉන්ධන ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව සාකච්ඡා කෙරිණ. අමාත්‍යාංශය හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය සහිත කර්මාන්තශාලා හිමිකරුවන්ට නම් කරන ලද ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාව දීමට තීරණය කරනු ලැබීය.
තේ, රබර්, පොල් සහ අපනයන කෘෂි භෝග සඳහා ඉතිහාසයේ වැඩිම මිල මේ වන විට ගොවීන්ට ලැබී තිබේ.

