තේ වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ලබා දීමට අද දින තීරණය කරන ලද බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
නව රජයේ කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍යවරයා අද දින පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොස් යුරියා පොහොර බෙදා දීම හා ඊට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවයන් පිළිබඳව සාකච්ඡා කරමින් රාජකාරී කටයුතු නැවතත් ඇරඹීය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ. විශේෂයෙන්ම ඉන්දීය රජය විසින් ණය යෝජනා ක්‍රමයක් යටතේ ලබා දෙන ලද යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් මෙට්‍රික් ටොන් 15,000ක් තේ වගාව සඳහා ලබා දීමට වැවිළි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි රජය තීරණය කළ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම ඉදිරියේ දී ඉන්ධන නිකුත් කිරීමේ දී ආහාර නිෂ්පාදනයට අවශ්‍ය වන ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට අප රටට ලැබී ඇති යුරියා පොහොර මෙට්‍රික් ටොන් 44,000න් මේ වනවිට සියයට 60කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැරීමට කටයුතු කර ඇති බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරු අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
එළවළු වගාව සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර විශේෂයෙක් ඉතා කඩිනමින් නිෂ්පාදනය කරන ලෙසත් ඉදිරි සති දෙක තුළ එම පොහොර වෙළෙඳපොළට සැපයීම සඳහා කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ අමාත්‍යවරයා නව ජනාධිපතිවරයාට වැඩ කිරීම සඳහා සාධාරණ කාලයක් හැම දෙනාම ලබා දුය යුතුය යන ස්ථාවරයේ තමන් ද සිටින බව සඳහන් කළේය.