තුෂාර සංජීව විතාරණ මහතා (පොදුජන පෙරමුණ) කුරුණෑගල නගරාධිපතිවරයාව සිටි කාලය තුළ වැරැදි කිසිවක් සිදු කර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම විසින් නිකුත් කර ඇති වාර්තාවට අනුව විතාරණ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18 කින් චෝදනා 11 කටම ඔහු වැරැදිකරු බවට තීරණය කර ඇත.
ඒ අනුව එම පරීක්ෂණ කොමිසම විසින් ලබාදී ඇති නිගමන වලට අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහ කළ අයෙකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්ද ඊයේ (8) නිකුත් කරනු ලැබීය.
තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව ලැබී තිබු පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම පරීක්ෂණ කොමිසමේ කටයුතු 2022.12.09 වන දින සිට ආරම්භ කරනු ලැබීය.
මෙම කොමිසම හමුවේ වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න සහ ඒ.ජේ.එම්.මුසම්මිල් මහත්වරුන්ද සාක්ෂි ලබාදී ඇත.
ෙමහ නගර සභා ආඥා පනත යටතේ 2020 වසරේ අයවැය සම්පාදන හා බලාත්මක කිරීමේ නියෝග වල විධිවිධාන ක්‍රියාත්මක වීම හේතුකොටගෙන තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූවාසේ සලකන බවද එම ගැසට් නිවේදනයෙහි සඳහන්වේ.
ඒක පුද්ගල පරීක්ෂණ කොමිෂන් වාර්තාවේ සඳහන් චෝදනා හා නිගමන පිළිබඳව ඇති සියළුම ලේඛන නිසි ලෙස පරීක්ෂා කර අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තුෂාර සංජීව විතාරණ මහතා කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 252 වන අධිකාරිය වූ මහ නගර සභා ආඥා පනතේ 277 (1) වගන්තිය යටතේ සඳහන් වරදවල් එකක් හෝ කීපයක් සිදු කර ඇති බවට තීරණය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බැවින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022.12.31 වන දින සිට තුෂාර සංජීව විතාරණ මහතා කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් සහ සභික ධූරයෙන් පහ කළ අයෙකු ලෙස සැලකිය යුතු බවට නියම කරන බවද ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් කර ඇත.