මත් ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කිරීමේ වර්තමාන කටයුතු පිළිබඳව ‘රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ සාකච්ඡා විය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ එම කාරක සභාව අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙම කාරක සභාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, තැපැල් දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කැඳවා තිබූ අතර මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මෙම අංශ ගෙන ඇති පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය.
මෙහිදී මත් ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා පත්කොට ඇති ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා කමිටුව අමතමින් සඳහන් කළේ මත් ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් කල්පිටිය ප්‍රදේශයේ ඉදිකරන බවත් මේ සඳහා ජලය, විදුලිය සහ මාර්ග පහසුකම් ලබාගැනීමට මෙම කමිටුව මැදිහත් වන්නේ නම් මෙම වසර අවසානයේ මෙම මධ්‍යස්ථානය සකස් කොට අවසන් කළ හැකි බවයි. මේ අනුව මේ සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බව කාරක සභාවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේය.
එසේම රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම පිළිබඳවද මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විමසා සිටි අතර නිලධාරීන් සඳහන් කළේ පසුගිය කාලයේ මේ සඳහා මාස 9 පමණ කාලයක් ගත වූ බවත් වර්තමානයේ මාස 3 පමණ කාලයක් ගත වන බවත්ය. නිලධාරීන්ගේ හිගය මේ සඳහා බලපා ඇති බවත් ඒ අනුව අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.
එසේම මත් ද්‍රව්‍ය පාලනය කිරීමේ කටයුතත්තට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේද සහය ලබාගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කළේය.
තවද තැපැල් මාර්ගයෙන් මත් ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව, පාසැල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ මුහුදු මාර්ග හරහා මත් ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම කමිටුව සඳහා සම්බන්ධ වූ අතර මත් ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සෘජුවම ජාතික ආරක්ෂාවට සම්බන්ධ බවත් මේ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.