කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් සඳහා නෞකාවක නරක්වූ මාළු බහාලුම් 98ක් ගොඩබෑමට ශ්‍රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක බලපත්‍රයක් නිකුත් කරලා - අදාළ සමාගමට ම සැමන් නිෂ්පාදන ආයතනයක් - කෝපා කමිටුවේදී අනාවරණය වෙයි.
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් ආනයන බලපත්‍ර නිකුත් කලත්, පසු විපරමක් සිදු නොවීම ගැන කාරක සභාවේ කනස්සල්ල..
සියලු තොරතුරු රැස් කරමින් කඩිනමින් දත්ත පද්ධතිය සකස් කර අවසන් කරන්න - කෝපා කමිටුවෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට උපදෙස්..
කාබනික පොහොර නිෂ්පාදනය සමාගමක් සඳහා නෞකාවක නරක්වූ මාළු බහාලුම් 98ක් මෙරට ගොඩබෑම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
මේ පිළිබද කරුණු අනාවරණය වූයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙදින කාරක සභාව හමුවට 2021 සහ 2022 මූල්‍ය වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තා සහ කාර්ය සාධනය පරික්ෂාව සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව කැඳවා තිබිණි.
කාරක සභාව තුළ නෞකාවේ නරක්වූ මාළු බහාලුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් කළ මත්ස්‍යයින් ගබඩා කළ බහාලුම් රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී විදුලි සැපයුම නතර වීම හේතුවෙන් එම මත්ස්‍යයින් නරක්වී ඇති බව තහවුරු කරගත් පසු තායිලන්තය එම නෞකාව තම රටට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව විගණන නිලධාරීහු මෙහිදී කරණු දක්වමින් පැවසූහ.
පසුව එම නරක්වූ මත්ස්‍යයින් මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කරණු ලබන සමාගමක් වෙත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව මගින් කළ ඉල්ලීමට, ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රයක් නිකුත් කර ඇති බව එම නිලධාරීහු වැඩි දුරටත් පැවසුහ. එහිදී එම බලපත්‍රය ලබාගැනීමට අදාළ ආනයනකරු විසින් ඉල්ලීම් සිදුකළ යුතු වූවත් එයට පටහැනිව බලපත්‍රය ලබාගැනීමට ඉල්ලුම් කර ඇත්තේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව බවද මෙහිදී අනාවරණය විය.
මෙම නෞකාවෙන් මාළු බහාලුම් 98ක් අදාළ කාබනික පොහොර නිෂ්පාදන සමාගම ලබාගෙන තිබුනද ඉන් භාවිත කර ඇත්තේ බහාලුම් 43ක් පමණක් බව මෙහිදී අදහස් දක්වමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් බහාලුම් 55ක් ප්‍රයෝජනට ගෙන නොතිබූ අතර ඒවා ප්‍රති අපනයන කිරීමට සැලසුම් කර තිබු බවත් බහාලුම් 15ක් කොම්පොස්ට් පොහොර නිෂ්පාදනයට භාවිතා කර ඇති බව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදුවී ඇති බවද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම නරක්වූ මත්ස්‍යයින් සහිත බහාලුම් රට තුළට ගැනීම හේතුවෙන් එම බහාලුම් වල මෙහෙයුම් කටයුතු සිදුකළ වරාය පරිශ්‍රය හා එම බහාලුම් රඳවා තැබූ ප්‍රදේශවල පරිසරය දුෂණය වී තිබූ බව මෙහිදී අදහස් දක්වමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ.
එමෙන්ම බහාලුම් 98ක් ලෙස සඳහන් කළද සත්‍ය ලෙසටම බහාලුම් 102ක් තිබී ඇති බවත් ඉතිරි බහාලුම් 4ට සිදුවූ දෙය සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නොමැති බවත් විගණන නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී. මෙම නරක්වූ මත්ස්‍යයින් යොදා ගනිමින් සත්‍ය ලෙසටම කාබනික පොහොර නිෂ්පාදනය කර තිබුනේද මෙන්ම කොම්පෝස්ට් පොහොර ද සත්‍ය ලෙසටම නිෂ්පාදනය කර තිබුනේද යන්න තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවද විගණන නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
එමෙන්ම මෙම කාබනික පොහොර නිෂ්පාදන ආයතනයට එතරම් බහාලුම් සංඛ්‍යාවකින් පොහොර නිෂ්පාදනය කිරීමට ධාරිතාවක් නොතිබූ බවත් එම ක්‍රියවලියේ අසාර්ථක බව, බහාලුම් 55ක් ප්‍රතිඅපනයනය කිරීමට ගත් තීරණය මගින් පැහැදිලි වන බවද විගණන නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම කාබනික පොහොර නිෂ්පාදන ආයතනය සතුව සැමන් නිෂ්පදනය කරනු ලබන ආයතනයක් පැවතීම පිළිබඳවද විගණන නිලධාරීන් විසින් කාරක සභාවේ අවධනය යොමු කරන ලදී. ඒ අනුව මේ සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්ද යන්න සොයා බැලීම සඳහා මෙම සිදුවීමට අදාළ සියලු ආයතන හා නිලධාරීන් ඉදිරි දිනක කාරක සභාව හමුවට කැඳවීමට සභාපතිවරයා තීරණය කළේය.
මේ අතර ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී ආයතන 36ක් සමග සම්බන්ධවී කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. ඒ අනුව බලපත්‍ර නිකුත් කලද ඉන් පසු ඒ සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකිරීමේ වැඩපිළිවෙලක් නොමැති කම පිළිබඳව කරුණු දක්වමින් සභාපතිවරයා සිය කමිටුවේ කනස්සල්ල පළකළේය.ඒ අනුව එම පසුවිපරම් ක්‍රියාවලිය වඩාත් ප්‍රයෝගික මට්ටමින් සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.