තායිලන්ත භික්ෂුවකගේ ඩොලර් සොරා ගත් චීන ජාතිකයා ඇල්ලූ මෙහෙයුම
ශ්රී ලංකාවට පැම්ණෙමින් සිටි තායිලන්ත ජාතික බෞද්ධ මහනායක භික්ෂුන් වහන්සේ නමකගේ අත් බෑගයෙහි තිබූ රුපියල් තිස් ලක්ෂ අසූ දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 10,000 ක මුදලක් ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයෙකු 01/06 දින සවස බලවත් පරිශ්රමයක් දරා කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ සහ එහි සංචාරක පොලීසියේ නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .
මෙම 78 හැවිරිදි බෞද්ධ නායක හිමියන් ශ්රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයේ වගකිවයුතු නිලයක් හොඹවන අයෙකි .
උන් වහන්සේ 01/06 දින දහවල් 11.07 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත , විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පැමිණ තිබුණි .
ෙඉන්පසුව උන් වහන්සේ සීගිරිය බලා ගමන් කර ඇති අතර , එහිදී තම අත් බෑගයෙහි තිබූ ඇමෙරිකානු ඩොලර් 10,000 ක මුදල නොමැති බව වැටහී , ඒ පිළිබදව කොළඹ තායිලන්ත තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ .ෙඒ බව සැළ වූ තානාපති කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු මේ පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ සංචාරයක පොලීසිය වෙත පැමිණිළි කර තිබේ . ඒ අනුව ක්රියාත්මක වූ පොලීසිය ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කර , මෙම භික්ෂුන් වහන්සේ සමීපයෙහි ගැවසෙමින් සිටි සැක කටයුතු චීන ජාතිකයෙකු හදුනා ගෙන , ඔහු ගමන් කළ වාහන සොයා විමර්ශන දියත් කර තිබේ .
එහිදී මෙම චීන ජාතිකයා කිඹුලපිටිය ප්රදේශයේ චීන ජාතික කාන්තාවක විසින් පවත්වා ගෙන යනු ලබන ලැගුම් හළක් වෙත ගොස් ඇති අතර එහි මද වේලාවක් ගත කර , කැසිනෝ ක්රීඩාව සදහා තවත් වෙනත් වාහනයකින් කොළඹ , කොල්ලුපිටිය ප්රදේශයේ පිහිටි
" ලිබර්ටි ප්ලාසා " වෙත ගොස් තිබේ .
එම තොරතුරු මත හඹා ගිය පොලිස් නිලධාරීන් , එම වාහනයේ රියැදුරුවරයා හදුනා ගෙන ඔහුගේ සහායෙන් අදාල කැසිනෝ ශාලාව වෙත ගොස් තිබේ .
පසුව එහි ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කර එහි ඇතුළු වී සිටින චීන ජාතිකයා හදුනා ගෙන ඇති අතර , ඔහු ඒ වනවිට රාත්රී කාළයේ කැසිනෝ ක්රීඩාව පටන් ගන්නා තෙක් , මෙම ගොඩනැගිල්ලේ 07 වන මහළේ චීන ජාතික කාන්තාවක සතු නිවසෙහි විවේක ගනිමින් සිට තිබේ .
මේ බැව් නිරීක්ෂණය කළ පොලිස් නිලධාරීන් , එම නිවස වටලා එහි රැදී සිටි 43 හැවිරිදි යී ටාඕ ( Yi Tao ) නැමති චීන ජාතිකයා අත් අඩංගුවට ගෙන , ඒ වනවිටත් ඔහු සන්තකයෙහි තිබූ ඇමෙරිකානු ඩොලර් 10,000 ක මුදල ද අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ගුවන් තොටුපොළ සංචාරක පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුසන්ත , පොලිස් පරීක්ෂක චන්දන , පොලිස් කොස්තාපල්වරුන් වන 102313 වික්රමසිංහ සහ 71058 මංජුල යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.මෙම චීන ජාතිකයා 01/07 දින මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
