විදේශ රට වල තිබෙන මෙරට තානාපති කාර්යාල රැසක් වසා දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, එලෙස කටයුතු කරනුයේ ඩොලර් අර්බුදය හේතුවෙන් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (24දා) ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
විදේශ රටවල තානාපති කාර්යාල 65ක් පැවතීම හරහා මෙරටට ප්‍රයෝජනයක් තිබේද යන්න සොයා බැලීමක් සිදු කරන බවත්, ඒ අනුව ඇතැම් කාර්යාල වසා දමමින් වෙනත් තානාපති කාර්යාල හරහා එම කටයුතු සිදු කර මුදල් ඉතිරි කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඊට පිළිතුරු ලබා දෙමින් කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
කෙසේ වෙතත් පසුගිය කාලයේ අප්‍රිකාව තුල තානාපති කාර්යාලයක් පිහිටුවීමේදී එවැනි කාර්යාලයක් පිහිටුවනු ලබන්නේ කුමකටද යන්න තර්ක කළ විපක්ෂය වර්තමානයේ තානාපති කාර්යාල වසා දැමීමේදී කුමටද වසා දමනු ලබන්නේ යන්න පිළිබඳ තර්ක කරමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර වර්තමාන ආණ්ඩුව ඉන්දීය සහ චීන තානාපති කාර්යාල හැර අනෙකුත් සියලු තානාපති කාර්යාල වසා දැමීමට කටයුතු කරමින් සිටින බවත්, මෙලෙස මෙරට ශ්‍රමිකයක් ආරක්ෂා කිරීමට තිබෙන තානාපති කාර්යලා වසා දමන බවට සඳහන් කරනු ලබන මෙවැනි ඇමතිවරු ජනතාව විසින් හෙළා දැකිය යුතු බවත් එහිදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - තානාපති කාර්යාල ගණනාවක් වහගෙන යනවා ඩොලර් නෑ කියලා පඩි ගෙවන්න.
කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය - ඒක මේ ප්‍රශ්නයට අදාල ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් තිබෙන ඩොලර් ප්‍රශ්නයත් එක්ක යම්කිසි මට්ටමකට බලනවා තානාපති කාර්යාල 65ක් තිබෙන එකේ ප්‍රයෝජනයක් තිබෙනවාද කියලා. සිංගප්පූරැවේ තානාපති කාර්යාලයක් නෑ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මම මේක අහන්නේ රට වෙනුවෙන්. ඉරාක, නොර්වේ තානාපති කාර්යාල වහලා. සයිප්‍රස් වල ඉන්න කණ්ඩායමක් මට කිව්වා එහෙත් තානාපති කාර්යාලය වහලා කියලා. අපේ ලංකාවේ 10,000ක් එහේ ඉන්නවා. මෙතුමා කියනවා අවශ්‍ය නෑ කියලා. ඩොලර් නැතිවීම තමයි එකම හේතුව.
කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය - අපි වගේ රටකට ඒ වගේ තානාපති කාර්යාල 65ක් තිබෙන එකේ අවශ්‍යතාවයක් තියෙනවාද කියලා අපි දැන් සලකලා බලනවා. සමහර රටවලට තානාපති කාර්යාලයක් නැතිව වෙනත් තානාපති කාර්යාලයක් හරහා ඒ වැඩකටයුතු කර ගන්න පුලුවන් නම්, මුදල් ඉතිරි කර ගන්න පුලුවන් කියලා මම කියනවා. අප්‍රිකාවේ තානාපති කාර්යාල හදනකොට ඔබතුමන්ලා කිව්වේ ඇයි අප්‍රිකාවේ තානාපති කාර්යාල හදන්නේ කියලා තර්ක කළා. තානාපති කාර්යාල වහනකොට ඇයි තානාපති කාර්යාල වහන්නේ කියලා ඔබතුමන්ලා තර්ක කරනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ - රාජ්‍ය ඇමතිතුමා කියනවා මේ කාර්යාල මෙච්චර තියෙන එක ඇද්ද වැඩිද කියලා හිතලා බලන්න ඕනි කියලා. ඒත් කැබිනට් ඇමතිවරයා පෙරේදා කියනවා අපි මේ කාර්යාල වහලා දැම්මේ මේ රටේ තිබෙන මූල තත්ත්වය නිසා කියලා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි - අපිට පෙනී යන කාරණය තමයි චීන තානාපති කාර්යාලය සහ ඉන්දීය තානාපති කාර්යාලය පමණක් රඳවාගෙන අනිත් සියල්ල ඉවත් කරන්න තමයි ආණ්ඩුව කටයුතු කරගෙන යන්නේ. මේ ඇමතිතුමාගේ මෝඩ හැසිරීම ජනතාව හෙළා දකින්න ඕනි.