ධෛර්ය සම්පන්න වීරෝධාර ශ්‍රී ලංකා හමුදාව කිසිදු දිනෙක මානව හිමිකම් කඩ කිරීමක් හෝ යුද අපරාධයක් සිදු නොකළ බවට තමන් තරයේ අවධාරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
එසේම නිල ඇඳුම ඇඳගත් රණවිරුවා මාතෘ භූමියේ අභිමානය වනවා සේම කිසිදු දිනෙක මිය නොයනා බව තමන් විශ්වාස කරන බව සදහන් කරන හිටපු ජනාධිපතිවරයා, තමන් ජීවත්ව නොසිටින දිනක දී වුවද මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙස එක් සිංහ ධජයක් සෙවනේ පවතීවා! යන්න එකම ප්‍රාර්ථනය බවද ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ පිළිබඳ මාධයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කරයි.
"ඔබ දැනටමත් දන්නා පරිදි, අපේ මාතෘ භූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදී ග්රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන අවසානයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක් තුළම මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙන නීති පමණි.
සිංහ ධජය යටතේ එක්සේසත් කළ අභිමානවත් ඒකීය රටක, 2009 මැයි 19 වන දින ජනතා නියෝජනයේ සංකේතය වූ උත්තරීතර පාර්ලිමේන්තුවේ සිට පාර්ලිමේන්තු සිව්වන සැසියේ ආරම්භක දේශනය පවත්වමින් විජයග්‍රාහී දේශයක ඔබේ ජනාධිපතිවරයා සහ සේනාධි නායකයා වශයෙන් සිදු කරන ලද ඉහත ප්‍රකාශය මා හට කිසිදා අමතක නොවේ.
පසුගිය දිනක කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ ඊළාම් සිතියම නිරූපිත දෙමළ ජන සංහාර ස්මාරකය විවෘත කිරීම, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් වී දීර්ඝ කාලයක් ගත වී ඇති මෙවැනි කාලවකවානුවක පවා ත්රස්තවාදයේ අඳුරු සෙවනැලි තව දුරටත් ක්‍රියාත්මක බව පෙන්වන අවාසනාවන්ත සිදු වීමකි. එම අවස්ථාවේදී බ්‍රැම්ප්ටන් නුවර නගරාධිපති විසින් දෙමළ මිනිසුන් දහස් ගණනක් ශ්‍රී ලංකා රජය විසින් ඝාතනය කළ බවට දරුණු චෝදනාවක් අප රටට එල්ල කළේය.
එවකට සිටි රාජ්‍ය නායකයා වශයෙනුත්, සේනාධි නායකයා වශයෙනුත් පදනම් විරහිත එම චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරමි. දෙමළ සිවිල් වැසියන් එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි අවස්ථාවක, දෙමළ සිවිල් වැසියන් මිනිස් බෝම්බ බවට පත් කර තිබූ අවස්ථාවක යූද පිටියට ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගනිමින් සිදු කරන ලද අති මානුෂීය මෙහෙයුම් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලොව දක්ෂතම හා විනයගරුකම හමුදාව බවට පත් කළේය.
එදා තම ජීවිත බේරා ගත් දෙමළ ජනතාව හෘද සාක්ෂියට එකඟව මෙයට සාක්ෂි දරනු ඇති බව මම විශ්වාස කරමි. බිම් බෝම්බ පුපුරා යද්දීත්, තුවක්කු උණ්ඩ ළය මතට එල්ල කර තිබියදීත්, විෂ වායු ප්රහාරයන්ට ලක් වද්දීත්, ෂෙල් වෙඩි වැටෙද්දීත් අපේ රණවිරු දරුවන් වර්ග වාදයකින් තොරව මහපොළවේ සැමට සමාන අයිතියක් වෙනුවෙන් සටන් වැදුණි. එවන් ධෛර්යය සම්පන්න වීරෝධාර හමුදාව කිසි දිනෙක මානව හිමිකම් කඩ කිරීමක් හෝ යුද අපරාධයක් සිදු නොකළ බව මම තරයේ අවධාරණය කරමි. ශ්‍රී ලංකා හමුදාව පරාජය කරනු ලැබුවේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය පවා ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙසට 2008 වර්ෂයේ නිල වශයෙන් නම් කරන ලද සංවිධානයි.
සටන් අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. එහෙත් සටන සම්බන්ධයෙන් ස්වයං විනයක් අප සතුව ඇත. සටන් වැදිය යුත්තේ කුමකට එරෙහිව ද යන්න අප හොඳින් තේරුම් ගෙන ඇත. අප රට දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන සහ විජයබාහු ආදී මහා රජවරුන් සතුරු ආක්‍රමණ පරාජය කර වීරත්වය තහවුරු කළ රටකි.
දාඨිය, පලයමාර සහ එළාර වැනි ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ රටකි. ලෝකයේ අධිරාජ්‍යන් ස්ථාපිත කළ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කළ හෙළ සටන්කාමීන් සිටි රටකි. අධිරාජ්‍යවාදයට එරෙහිව වීරත්වයෙන් සටන් කළ සංඝ පරම්පරාවක් ද කැප්පැටිපොළ සහ වීර පුරන් අප්පු වැනි වීරවරුන් ද සිටි රටකි. දශක තුනක් පුරා පැවති අමිහිරි යුද්ධයක් අවසන් කරමින් වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පුදා රැකගත් රටකි. මා දණින් වැටී නමස්කාර කළේ අපේ වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියයි. මින් ඉදිරියටත්, මා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවනේ පවතීවා! යන්න මගේ එකම ප්‍රාර්ථනයයි.
එවන් ඒකීය රටක් වෙනුවෙන් මින් වසර 16කට පෙර යුද බිමේ රුධිරය වගුරුවා ඇස්, ඉස්, මස් දන් දී අවසානයේ තම හුස්ම පවා රට වෙනුවෙන් කැප කළ වීරෝදාර යුද, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බළකායේ දරු දැරියන් ද, අප වෙනුවෙන් අහිමි කර ගත් දෑත් දෙපා නිසා ආබාධිත තත්ත්වටය පත්ව සිටින සියලුම රණවිරු දරු දැරියන්ව ද, විජයග්‍රාහී ගමනක පෙරමුණ ගත් එවකට ධුරයන් හෙබවූ ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද, නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති තුමන්, සිවිල් ආරක්ෂක බළකා ප්‍රධානී ඇතුළු සියලුම නිලදරුවන් ද මම ගෞරවයෙන් සිහිපත් කරමින් ආචාරය පුද කරන්නෙමි.
එවන් නිර්භීත දරුවන් බිහි කරමින් තම මව්බිම වෙනුවෙන් සංග්රාම භූමියට යන්නට නියත විවරණ දුන් මව්පියවරුන්ද, අපමණ කැපකිරීම් කළ බිරින්දෑවරුන් ද, ස්වාමිවරුන් ද මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. පැවති සංකීර්ණ දේශපාලන, ආර්ථික හා සාමාජයීය තත්ත්වයන් මැනැවින් තේරුම් ගනිමින් සියල්ල ඉවසා සහයෝගය ලබා දුන් සියලුම ශ්‍රී ලාංකික මගේම ජනතාවට ද මාගේ ප්‍රණාමය පුද කරමි.
රට වෙනුවෙන් දිවි පිදූ තම දරුවාගේ නම රණවිරු ස්මාරක නාම පුවරුවෙහි වියපත් දෑසින් සොයන මව් වරුන්ද , පිය වරුන් ද මම දැක ඇත්තෙමි. නිල ඇඳුම ඇඳගත් රණවිරුවා මාතෘ භූමියේ අභිමානය වනවා සේම කිසි දිනෙක මිය නොයනා බව මම විශ්වාස කරමි."