අසර්බයිජානය හරහා ප්රංශයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනෙකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
අසර්බයිජානයට යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස කහතුඩුව ප්රගති මාවත ප්රදේශයේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු කළ දැනුම්දීමක් අනුව ගුවන්තොටුපල කරා ගිය අවස්ථාවේදී තමන්ගේ නමට වීසා නොමැති බව පවසමින් හරවා එවූ බවත් තමන් රැකියා නියෝජිත වෙත රුපියල් ලක්ෂ අටක 8 ක මුදලක් ලබා දුන් බවත් වැල්ලවත්ත ප්රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශන වලදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි
තමන් සමග තවත් පුද්ගලයන් 6 දෙනෙකු ගුවන් තොටුපොළ කරා ගියද ඔවුන්ටද විදේශගත වීමට නොහැකි වූ බව එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් විය
මද වේලාවක දී තවත් පුද්ගලයන් 6 දෙනෙකු පොලීසිය වෙත පැමිණ තමන් කහතුඩුව රැකියා නියෝජිත ආයතන වෙත රුපියල් ලක්ෂ 62 ක මුදලක් ලබාදී විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත ගිය ද එම නියෝජිතයා තමන්ව ගුවන්තොටුපල තුළට පමණක් රැගෙන ගිය බවට සඳහන් කරමින් පැමිණිල්ලක් සිදුකර තිබිණි.
ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනවලදී එකී පැමිණිලිකාර පිරිස ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත අසර්බයිජානයට ගොස් ප්රංශයට යාමේ සැලසුමක් අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඒ අනුව එම හත් දෙනා අත්අඩංගුවට ගත් පොලිසිය විදේශගත වන බවට පවසා මුදල් වංචා කළ රැකියා නියෝජිත ආයතන හිමිකරු ද අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් සියලු දෙනා කැස්බැව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කතුඩුව පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඒ එච් කේ ප්රියංකර වීරසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.