මාවතගම පිලැස්ස මාස් කොළණිය ප්රදේශයේ පදිංචි තරුණ දෙපිරිසක් අතර ඊයේ (11) රාත්රියේ ඇතිවූ ගැටුමකින් විසි දෙහැවිරිදි ලාබාල තරුණයෙකු මරණයට පත්ව තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියකින් පසුව එම ප්රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇත.
දෙපිරිස අතර ඇතිවූ ගැටුමේදී බරපතළ කැපුම් තුවාල ලැබූ රංජිත් නමැති ලාබාල තරුණයා මරණයට පත්ව ඇති බව පොලීසිය කියයි . ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිති
මරණයට පත් තරුණයා සමඟ ඔහුගේ හිතවතුන් පිරිසක් සහ ප්රදේශයේ තවත් තරුණයන් පිරිසක් අතර කලක සිට පැවති ආරාවුලක් ගැටුම්කාරී තත්ත්වයක් දක්වා දුරදිග ගොස් තිබූ බවද ඊයේ ඒ සම්බන්ධයෙන් නැවත ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් පසුව මෙම මරණය සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළේය.
මෙම ගැටුමට කඩු පිහියා මන්නා වැනි කැපෙන ආයුධ යොදාගෙන ඇති බවද එහිදී එල්ලවූ ප්රහාරයකින් බරපතළ කැපුම් තුවාල සහිතව එම තරුණයා මරණයට පත්ව ඇති බවද පොලීසිය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් තරුණයන් සිවු දෙනෙකු මේවනවිට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අතර ගැටුමට සම්බන්ධ ප්රධාන සැකකරුවෙකු ප්රදේශයෙන් පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ. සිංහල ජාතිකයෙකු වන මෙම සැකකරු මුස්ලිම් තරුණියක විවාහ කර ගැනීමෙන් පසුව මුස්ලිම් ආගමට ඇතුළත්වූ අයෙකු බවද පැවසේ.
මෙම ඝාතනයත් සමඟ කුපිතවූ ප්රදේශවාසීන් පිරිසක් ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන්ගේ නිවාස වලට ගල්මුල් ප්රහාරයක් එල්ල කරමින් කලබලකාරී ලෙස හැසිරීමට උත්සාහ දැරීම හේතුවෙන් ප්රදේශයේ සාමය හා ජන ජීවිත ආරක්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් සමඟ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇත.