තර්ජනය කර බිය වද්දා ආණ්ඩු සහ අමාත්‍යවරුන් පාලනය කිරීමට වෘත්තීය සමිති ත්‍රස්තවාදී කණ්ඩායම් වලට හැකියාවක් නොවන බවත්, ඇතැම් පිරිස් ඒ සඳහා බිය වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා අද(09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර මෙම පනත ඉදිරිපත් කිරීමේදී තමා ඉන්දියානු ආදානි සමාගමේ නියෝජිතයෙකු ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරැ මෙන්ම තම පක්ෂයේ මන්ත්රීවරැන්ද හඳුන්වන බව සඳහන් කළ අමාත්‍ය කංචන විජේසේකර මහතා,
මේ රටේ අපි විදුලි අර්බුදයක් වෙනුවෙන් මුහුණ දීලා තිබෙන අවස්ථාවක්. මේ අර්බුදය දිහා බලන බොහෝ දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි මේ රටේ තිබෙන ස්වාභාවිත සම්පත් උපයෝගී කරගෙන අපිට විදුලිය උත්පාදනය වෙනුවෙන් අපිට වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට හැකිව තිබියදී අපි ඉන්ධන, දැවිතෙල්, ගල් අඟුරැ වෙනුවෙන් දරන්න බැරි මුදලක් ආයෝජනය කරමින් විදුලි උත්පාදනය කිරීම වෙනුවෙන් කටයුතු කරන්නේ ඇයි කියලා. අපි තීන්දුවක් ගන්න ඕනී. ව්‍යසනයක් ඇති වෙලා තිබෙන වෙලාවක්. රටේ මිනිස්සු දේශපාලඥයන්ට ඇගිල්ල දිගු කරන වෙලාවක්. දේශපාලඥයන්ගේ ගෙවල් ගිණි තියන වෙලාවක්.
මම ගෞරවයෙන් , කාරුණිකව ඉල්ලනවා. මේ ආයෝජනකයන් තෝර ගන්නේ කොහොමද කියන එක මට අදාල දෙයක් නෙවෙයි. නොරොච්චෝලේ ගත්තෙත්, කැලණිතිස්ස ගත්තෙත් වෙන ඕනිම බලාගාරයක ගත්තෙත් නිලධාරීන් වාඩිවුණු කමිටුවකින්. අද වැරදි මතයක් හදලා තිබෙනවා මේ මිල සූත්‍ර සියල්ලට පයින් ගහලා ආණ්ඩුව මේ වගේ පනත් ගෙනත් මේ රටේ එක එක තැන් විදේශීය සමාගම් වලට දෙන්න හදනවා කියලා. අදානි එකත් මේකට ගාවගෙන තිබෙනවා. දැන් මාව දාලා තිබෙන්නේ අදානි එකේ නියෝජිතයා හැටියට. කණගාටුවෙන් කියන්නේ අපේ පැත්තේ මිනිස්සු ටිකත් දාලා තිබෙන්නේ ඒ විදියට. අදානි සමාගම මේ පනතට කිසිදු සම්බන්ධයක් නෑ.
ඊයේ වෘත්තීය සමිති සමග සාකච්ඡාවේදී රන්ජන් ජයලාල් කියලා නායකයෙක් අනාවැකියක් කියන්නම් කියලා මට කියනවා මේ පනත හෙට ගේන්න පාර්ලිමේන්තුවට. ඔබතුමාගේ දේශපාලන අනාගතය හෙට ඉවරයි කියලා කියනවා. තර්ජනය කරලා, බිය වද්දලා අපිව පාලනය කරන්න නම් වෘත්තීය සමිති ත්‍රස්ථාවදී කණ්ඩායම් වලට පුලුවන් කමක් නෑ, වෙන කට්ටිය ඒවාට බය ඇති.
යනුවෙන් සඳහන් කළේය.