මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග අමතර ඉන්ධන රැස්කර තබා ගැනීම සඳහා ත්‍රිකුණාමලය ටැංකි සංකීර්ණයෙන් හෝ ටැංකි කිහිපයක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සම්බන්ධව වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයෝ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් පසුගියදා ඉල්ලිමක් කළේය.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා වෘත්තිය සමිතිවල අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පැවැති සාකච්ඡාවක දී එම නියෝජිතයෝ අමාත්‍යවරයාගෙන් එම ඉල්ලීම කළේය.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ තමන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලට මින් පෙර මේ සම්බන්ධව ලිපියක් යොමු කළත් ඊට නිසි ප්‍රතිචාර නොලැබුණු බවයි. එම නිසා ශ්‍රී ලංකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස පත් කර සිටින ගෝපාල් භග්ලේ මහතා සමග නැවත වරක් ඉදිරි කාලයේ දී තමන් සාකච්ඡා කරන බවත්, එහිදී ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි පද්ධතියෙන් අඩු තරමින් ටැංකි 25ක් පමණ ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, කෙසේ වුවත් මෙම ටැංකි ලබා ගැනීමට නම් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල කොවිඩ් 19 නිසා ඉතා අවම වී ඇති අවස්ථාවක අමතර ඉන්ධන තොග ගබඩා කර තබා ගැනීම සඳහා අමතර ටැංකි පද්ධතියක අවශ්‍යතාව තිබෙන බවත්, දැනට කර තිබෙන ඇස්තමේන්තු අනුව, ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ලබා ගත්තත් ඒවා අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 2000ක් පමණ වැයවෙතැයි ගණන් බලා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වුවද අමතර ඉන්ධන ටැංකි පද්ධතියක අවශ්‍යතාව කාලයක පටන් ඉස්මතුව තිබු අතර 2003 දී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජය ත්‍රිකුණාමලයේ ටැංකි පද්ධතිය ඉන්දියාවට ලබා දීමත්, 2016 දී හම්බන්තොට වරාය චීනයට පවරාදීම හරහා එහි තිබු ටැංකි පද්ධතියත් අපිට අහිමි කරනු ලැබු බවත් අමාත්‍යවරයා කීවේය.
එමනිසා අලුතින් ටැංකි පද්ධතියක් සැකසිමේ නව ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුව තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.