තමිල්නාඩුවේ විවිධ කඳවුරුවල සිට නවසීලන්තය බලා නීතිවිරෝධීව ගමන් කිරීමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයන් හය දෙනෙක් තමිල්නාඩු පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ‘Q’ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුලතුවෛපට්ටි කඳවුරේ කෙනුජන් (34) කෙලවරපල්ලි කඳවුරේ ජෙනිෆර් රාජ් (23), දිනේෂ් (18) සහ බුවනේෂ්වරී (40) හා ගුඩිමල්ලූර් කඳවුරේ සතීෂ්වරන් (32) හා නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ 36 හැවිරිදි දුෂ්‍යන්තන් යන අය මෙසේ නවසීලන්තයට පැන යාමට උත්සාහ කර අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත්වූවන් අතර සිටින දුෂ්‍යන්තන් සහ බුවනේශ්වරී යන දෙදෙනා මෙම නීතිවිරෝධී සංක්‍රමණය සංවිධානය කර ඇති බවට ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
සැකකරුවන් මයිලදුතුරෙයි දිස්ත්‍රික්කයේ පූම්පුහාර් ප්‍රදේශයේ බෝට්ටු හිමිකරුවෙකුගෙන් බෝට්ටුවක් මිලදී ගැනීමට සැලසුම් කර තිබුණි.
දුෂ්‍යන්තන් ධීවරයෙකු ලෙස පෙනී සිටිමින් බෝට්ටු හිමිකරු වෙත පැමිණ රුපියල් ලක්ෂ 36කට බෝට්ටුවක් මිලදී ගැනීමට ඔහු සමඟ ගනුදෙනුවක් සිදු කිරිමට කටයුතු කර තිබේ.
ඒ මුදලින් ඔහු රුපියල් ලක්ෂ 11 ක අත්තිකාරමක් මුදලින් ගෙවා ඇත. සරණාගතයින් හය දෙනාම අඟහරුවාදා දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට දින තුනකට පෙර ඔවුන් වේලන්කන්නියට පැමිණ ලැගුම්හලක නැවතී සිට තිබේ.
නිශ්චිත බුද්ධි තොරතුරක් ලැගුම්හෙලේදී පොලීසිය කළ වැටලීමකදී සැකකරුවන් අඟහරුවාදා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී ඉන්දීය රුපියල් 16,92,951 කට ආසන්න මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම උත්සාහයට තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුද සම්බන්ධ බවට සැකකරන බව පොලීසිය සඳහන් කළේය. පුළුල් විමර්ශනයකින් අනතුරුව ඔවුන්ට එරෙහිව නඩු පවරන බව පොලිසිය පවසයි.