මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එහි වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කරනවා වෙනුවට විදෙස් ණය හිමියන්ට ලැබෙන ආකාරයට වැඩ කටයුතු සිදු නොකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද (25දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"අපි චීනයට ඩොලර් බිලියන 7.4ක ණය ගෙවන්න තියෙනවා. ඒකෙන් ඩොලර් බිලියන 4.1ක් චීනයේ එක්සිම් බැංකුවෙන් ගත්ත ණය. යම් ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරන්න ඔවුන් සූදානම්. ඒත් ඉතිරි ටික පුද්ගලික ණය ලෙස තමයි ප්‍රතිව්‍යුහගත කරගන්න වෙන්නේ.
දැන් තමයි අපිට ඊළඟ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඒ තමයි පුද්ගලික ණය හිමියන් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යෝජනාවේදී ඔවුන් කියනවා අපි බලාපොරොත්තු වන්නේ මේ කපා හැරීම 20%ක් විතරයි කියලා. ඒත් ඊට එහා ගිහින් ඔවුන් අප හිර කරන්න හදනවා. අපේ රටේ ආර්ථිකය යම්කිසි විදියකට වර්ධනය වෙනවා නම්, ඒක අයි.එම්.එෆ් එක කලින් බලාපොරොත්තු වුණු වර්ධන වේගයට වඩා වැඩි නම්, ඒ වාසිය පුද්ගලික හිමියන්ට ලැබෙන්න ඕනෑ කියලා.
ඒක කිසිසේත්ම කරන්න දෙන්න බෑ. අපි මෙතනදි දිගින් දිගටම යමක් කිව්වා. ඒ තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සම්බන්ධයෙන් රජය කලින් කතා කළේ නෑ. ඒක පස්සේ ගෙනාවේ. පස්සේ ගෙනල්ලා මේ සම්පූර්ණ බර දැම්මේ අපේ දේශීය ණය හිමියන්ට.
ඇත්තටම වැඩ කරන ජනතාවගේ ඊ.පී.එෆ් එකට පමණයි මේ බර දැම්මේ. ඒ සම්පූර්ණ බර උහුලන්නේ අපි නම් ඒ හරහා අපේ ආර්ථික වර්ධන වේගයේ යම් වැඩිවීමක් සිදු වෙනවා නම්, ඒ වාසිය යන්න ඕනෑ කොහේවත් ඉන්න පුද්ගලික ණය හිමියන්ටද, නැතිනම් ඒ වාසිය යන්න ඕනෑ බර කරට ගත්ත මිනිසුන්ටද? ඒ වාසිය මෙරට ජනතාවට ලබා නොදී කොහේවත් ඉන්න විදෙස් ණය හිමියන්ට ලබා දීමට කටයුතු නොකළ යුතුයි."