ඩොලරය ඉහළ යාම තාවකාලිකයි
මෙරට ආර්ථිකය ස්ථාවරව පවතින බවත් රටේ ආර්ථික ස්ථායිකරණය, ආර්ථික ප්‍රගතිය සහ සාර්ව ආර්ථික ස්ථාවරභාවය 2025 වසර දක්වාම පවත්වාගෙන යාමට හැකිවූ බවත් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ,වැරදි ක්‍රියාමාර්ග, දූෂණ හෝ වංචා හේතු නොවූ බවත් විදේශීයව ඇති වූ ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ විදේශ විනිමය වෙළඳපොළේ ඇති වූ පීඩන මෙයට බලපැ බවත් ඔහු පැවසීය.
පසුගිය කාලසීමාවේදී ආනයන සහ අපනයන අනුපාතයන්හි වෙනස්කම් සිදුව තිබූ අතර පසුගිය වසරේදී කැපී පෙනෙන අපනයන ආදායමක් රටට හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩොලර් භාවිතයේදී වෙළඳපොළ තුළ අවස්ථාවාදීව ලාභ උපයා ගැනීමට උත්සාහ කළ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් ද රුපියල අවප්‍රමාණය වීම කෙරෙහි බලපා ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.ඩොලර් සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම අනුව රුපියලේ අගය වෙනස් වන බවත් මෙය කෙටි කාලීනව ඇති වූ බලපෑමක් බවද හෙතෙම පැවසුවේය.
බාහිර ආර්ථික පීඩන හමුවේ ද රටේ රාජ්‍ය මූල්‍ය අවකාශය පෙරට වඩා ශක්තිමත් මට්ටමක ඇති බවත් රජය සැලසුම් කළ ආදායම් ඉලක්ක කරා මේ වනවිට ළඟාවෙමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රුපියල ආරක්ෂා කිරීම සහ මූල්‍ය වෙළඳපොළේ ස්ථාවරත්වය තහවුරු කිරීමට රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
වාහන ආනයනය සම්බන්ධයෙන්ද සිදු කරන විවිධ ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඩොලරයේ ඉහළ යාම පාලනය කිරීමට පුද්ගලික වාහන ආනයනය මාස කිහිපයකින් කල්දැමීමට උපායමාර්ගික තීරුබදු අධිභාරයක් පැනවීමට පියවර ගත් බවයි.
ඒ් අනුව පසුගිය මැයි 15 වැනිදා ගත් තීරණයට සම්බන්ධයෙන් ඇතැම් පිරිස් විවිධ අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවත්, ආනයන සීමා කිරීම හෝ ආර්ථිකය හකුළා දැමීම රජයේ අරමුණ නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අද(22) දහවල් වන විට අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළේ මධ්‍ය අගය රුපියල් 330 දක්වා පැමිණ ඇති බවද ඔහු අනාවරණය කළේය.
අපනයන ක්ෂේත්රය ද පසුගිය මාස කිහිපයේදී ඉදිරියට පැමිණ ඇති බවත්, ඩොලර් උත්පාදනය ශක්තිමත්ව පවත්වාගෙන යාමට එය දායක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙම මස 27 වැනිදා වාරික දෙකක් එකවර ලබාදීමට නියමිත අතර, ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ඔහු පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙම වසර තුළ ඩොලර් මිලියන 480ක් ලබා දීමට සැලසුම් කර ඇති බවත් ජූනි මස අවසානය වනවිට ලෝක බැංකුව මගින් ඩොලර් මිලියන 150ක් සහ OPEC Fund for International Development මගින් ඩොලර් මිලියන 50ක් ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

