ඩෙංගු රෝගී තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද (16) මියගිය බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය.
මෙසේ මරණයට පත් වී ඇත්තේ පෝරුව - දණ්ඩ, මාපුටුගල මානෙල් උයන පදිංචිව සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පළවෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දිසානායක මුදියන්සේලාගේ හසිනි භාග්‍යා නැමති තරුණියයි.
ඉකුත් 5 වන දින උණ රෝගය වැලදීම හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත මියගිය තරුණිය ඇයගේ දෙමව්පියන් විසින් ඇතුළත් කර තිබූ අතර ඇය අංක පහ වාට්ටුවේ දින හයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
ඉන් අනතුරුව ඇයව 11 වන දින පසුව දැඩිසත්කාර ඒකකයට යොමු කර තිබූ තිබූ අතර ඇයට ඒ වන විට සිහිය නොමැති වී ඇති බව දෙමාපියන් පවසති.
එහිදී තරුණියව විවිධ පරීක්ෂණවලට යොමු කර තිබූ වෛද්‍යවරු ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ කරගෙන තිබිණ. එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය අද (16) අළුයම එහිදී මිය ගොස් තිබිණි.
මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේදී මුළු දිවයිනටම සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා විසින් පැවැත් වූ අතර ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාව සහ සාක්කි සැලකිල්ලට ගෙන තරුණියගේ මරණය ඩෙංගු රෝගය හේතුවෙන් රුධිර වාහනය වීම සමඟම ඇතිවූ සංකූලතා මත සිදුවූ මරණයක් බවට තීරණය කළේය.