ඩුබායි රාජ්‍යයේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටි දෙකක මුදලක් මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් රවටා වංචා කළ , බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස රැකියා ඒජන්සියක් පවත්වා ගෙන ගිය කාන්තාවක් , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් කණ්ඩායමක් විසින් 06/23 දින කොළඹ මරදාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 33 හැවිරිදි මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය තම ස්වාමිපුරුෂයා සමග එක්ව මෙම ජාවාරමේ නිරත වී සිට තිබේ .
මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් රවටා ඔවුන්ගෙන් එක් අයෙකුගෙන් රුපියල් හත් ලක්ෂ පනස් දහසක් පමණ මුදලක් ලබා ගෙන තිබුණි.
මෙම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබී තිබූ පැමිණිළි මත , ඇයගේ මහියංගනය ලිපිනය වෙත ගොස් විමර්ශන සිදු කරන ආරම්භ කරන විට , ඇය එහි පදිංචිය අතහැර කොළඹ මරදාන ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන රැකියා ඒජන්සියක් වෙත පැමිණ තිබුණි .
ඒ අනුව විමර්ශන කණ්ඩායම කොළඹ , මරදාන ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ රැකියා ඒජන්සිය වෙත ගොස් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම මෙම ජාවාරමට හවුල් වූ මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා ද 06/24 දින මෙම විශේෂ විමර්ශන කණ්ඩායම වෙත පැමිණ භාර වීමට නියමිත බවට තොරතුරු මෙම කණ්ඩායම වෙත වාර්තා වී තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් කාන්තාව 06/24 දින මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන කළමනාකරු කපිල කරුණාරත්න උපදෙස් සහ අධීක්ෂණය යටතේ විමර්ශන නිලධාරීවරුන් වන සරත් විමලවීර , රවීන්ද්‍ර අභයපාළ සහ අචිනි නිරෝෂා මහත්ම මහත්මීන් විසින් සිදු කර තිබේ .