ඉන්ධන පිරවුම් හලක් අසල ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකුට ඩීසල් ඉන්ධන යැයි කියා ලිටර් 60 ක් වතුර පිරවූ ප්ලාස්ටික් බූලි තුනක් ලබා දී රුපියල් 24000 ක මුදලක් වංචා කල සිද්ධියක් පොසොන් පොහෝදා ඊයේ (14දා) බණ්ඩාරගමින් වාර්තා වේ.
සිද්ධියට මුහුණ පෑ එක් අයෙක් කුඩා වෑන් රථයකින් තැඹිලි රැගෙන ගොස් විකුණා ජීවිකාව කරගෙන යන අතර අනෙක් පුද්ගලයා කුඩා ලොරි රථයක හිමිකරුවෙකි.
බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල දින පහක පමණ කාලයක සිට ඔවුන් දෙදෙනා පෝලිමේ රැඳී සිටින අතර අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මිතුරන් බවට පත්ව ඇත.
ඔවුන් අසලට ඊයේ (14දා) සවස් යාමයේ පැමින තිබූ ආගන්තුක පුද්ගලයකු හොරෙන් පන්නපු ඩීසල් වගයක් තියෙනවා අඩුවට දෙනවා ගන්නවා දැයි විමසා ඇත.
දින කීපයකින් නිසි අයුරින් ආහාර නොමැතිව නිදා ගැනීමටත් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටි ඔවුන් දෙදෙනා එම පුද්ගලයා පැවසූ දෙයින් සතුටට පත්ව ඇති අතර දෙවරක් නොසිතා එය මිලදී ගැනීමට එකඟ වී ඇත.
මද වේලාවක දී ආගන්තුක පුද්ගලයා රැගෙන විත් ඔහුන් අසල තබා තිබූ ප්ලාස්ටික් බුලි තුනේ මූඩි විවෘත කර ඇඟිල්ල දමා පරික්ෂා කිරීමේදී ඩීසල් බවට හැඟී යා මෙන් ඊට නියමිත රුපියල් 24000ක මුදලක් ද එම පුද්ගලයා වෙත ඒ මොහොතේම ලබා දීමට කටයුතු කර තිබේ.
එලෙස මිලදී ගත් එක් පුද්ගලයෙකුට බූලිය ඔහුගේ කුඩා ලොරි රථය අසල ඔසවාගෙන යාමටද පෙර කී වංචා කරු උදව් උපකාර කර තිබිණි.
එක් අයකු වාහනයට දැමූ ප්ලාස්ටික් බූලිය පතුලින් කාන්දු වීමක් ඇති වී ඇති අතර ඒවා පරික්ෂා කිරීමේදී වතුර බවට හැඟී ගොස් ඇති අතර ඒ බව අනෙක් පුද්ගලයාට පැවසීමට යාමේදී ඔහු ද පවසා ඇත්තේ තමන්ගේ බූලි දෙකේම ඇත්තේද වතුර බවය.
ඔවුන් දෙදෙනාම ක්ෂණිකව තමන්ට ඩීසල් යැයි කියා වතුර ලබා දුන් පුද්ගලයා සොයා නගරය පුරා සැරි සැරුව ද එම ජාවාරම්කරු සොයා ගැනීමට නොහැකි වී ඇත.
අදාළ ගනුදෙනුව සිදුවන ආකාරය අසළ වෙළඳසැලක සීසීටිවී කැමරාවක සටහන් වී තිබේ.