බුදු දහමට, හින්දු සහ ඉස්ලාම් ආගම් වලට ද අපහාස කළ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අයිසිසිපිආර් පනත යටතේ නඩු පැවරිය යුතු අතර ජෙරොම් ප්‍රනාන්දු දේවගැති වරයා ආගමික වෛරය පතුරවන විට ඊට අනුබල දුන් ඔහුගේ අනුගාමිකයින් ද එම පනත යටතේ වරදකරුවන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (17දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
"බුදු දහමට වගේම හින්දු සහ ඉස්ලාම් ආගම් වලට ද අපහාස කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඇත්තටම අපහාස කලේ ඔය මොනම ආගමටවත් වඩා කිතුනු දහමටයි. කුරුසයක් එල්ලා ගෙන කිතුනු දේවගැතිවරයෙකු ලෙස පෙනී සිටිමින් අනිත් ආගම් වලට අපහාස කිරීමෙන් ඒ අපහාසය වඩාත්ම සිදු වන්නේ කිතුනු දහමටයි.
ඒ වගේම ඔහු දේශන පවත්වන්නේ ඉංග්‍රිසි භාෂාවෙන්. ඔහුගේ වචනවල අර්ථ නිරූපනයෙන් පෙනී යනවා ඉංහ්‍රීසි භාෂාව පිළිබද මෙලෝ හසරක අවබෝධයක්ද නොමැති බව. ඒ නිසා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බෞද්ධයින් හින්දු ඉස්ලාම් කතෝලික බැතිමතුන් වගේම ආගමික සහජීවනය අගයන සමස්ත ජාතියට අපි ආයාචනා කරනවා.
ආගමික ගැටුම් ඇති කිරීමට උත්සහ දරණ අයට දඬුවම් කිරීමට 2007 දක්වා අපට තිබුණේ දණ්ඩ නීති සංග්‍රහය පමණයි. නමුත් අයිසිසිපිආර් පනත ලෙස හැඳින්වෙන 2007 අංක 56 දරණ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත අනුව මෙය මහෙස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දිය නොහැකි ඉතාම බරපතල වරදක්. මහාධිකරණ විනිසුරුවරයෙකු වුවත් ඇප ලබා දිය යුත්තේ සුවිශේෂි කරුණු මත පමණයි. ඒ වගේම මෙවැනි නඩුවක් උසාවියකට ඉදිරිපත් කළාම අනෙකුත් නඩු පසෙක තබා ප්‍රමුඛතා පදනමින් මේ නඩුව විභාග කළ යුතුයි කියා පනතේ තිබෙනවා.
පනතේ 3(1) වගන්තිය අනුව එදිරිවාදිකම් වලට හෝ ප්රචණ්ඩ ක්‍රියා වලට යොමු කෙරෙන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළෙඹවීම වරදක්. අන්න ඒ බරපතල වරද තමයි ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකර ඇත්තේ. ඒ සඳහා වසර 10ක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකියි. ආගමික සහජීවනය අගය කරන දේශපාලන පක්ෂයක් විධියට අපි මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කලා. ඒ නිසා නොපමාව ඔහුට එරෙහිව අයිසිසිපිආර් පනත යටතේ නඩු පවරන්න කියා අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා."