සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ සහභාගිත්වයෙන් ගොඩනැගෙන සමගි ජන සන්ධානය සමග නිදහස ජනතා සභාව සන්ධානගත වීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (5දා) පෙරවරුවේදී සිදුකිරීමට නියමිතය.
ඒ අනුව මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි හිටපු සභාපති, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ නායකත්වයෙන් නීතිඥ ඩිලාන් පෙරේරා,ආචාර්ය නාලක ගොඩ හේවා, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති , කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් නිදහස ජනතා සභාව නියෝජනය කරමින් සමගි ජන සන්ධානය සමඟ එක්වීමට නියමිතය.
මේ පිළිබඳ අදහස් දක්වමින් නිදහස ජනතා සභාව සඳහන් කර සිටියේ පවතින රජයේ මර්දනකාරී සහ දූෂිත වැඩපිළිවෙළට එරෙහි වෙමින්, ඉදිරි මැතිවරණවලදී විපක්ෂයේ ජයග්‍රහණය අරමුණු කර ගනිමින් විපක්ෂයේ සැබෑ ආණ්ඩු විරෝධී බලවේග එක් කර පුළුල් සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා තම පාර්ශ්ව පසුගිය කාල සීමාව තුළ කටයුතු කළ බවයි.
ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස සමගි ජන සන්ධානය හා සන්ධානගත වන බවත්, එසේම එහි ප්රමුඛ කොටස්කරුවන් වශයෙන් ඉදිරි මැතිවරණවලදී සමගි ජන බලවේගය ප්රමුඛ කර ගනිමින් විපක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පුළුල් කාර්යභාරයක් ඉටු කරන බවත් පැවසීය.